“මහින්දලා ජනතාවට කෙළපු කෙළිල්ල” ගැන අනුර හම්බන්තොටදී කිව්ව කතාව මෙන්න

අපේ රටට අවශ්‍ය බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
සඳහන් කර තිබෙනවා.

ඒ “ගැහැනු අපි එක මිටට” යනුවෙන් හම්බන්තොට පැවති කාන්තා සමුළුවක දී. එහි දී අනුර කුමාර දිසානායක මෙසේ ද සඳහන් කර තිබුණා.

“හම්බන්තොට, අපේ රටත් ජනතාවත් පීඩාවට පත්කරන ලද කණ්ඩායමේ නියෝජනයත් අනෙක් පැත්තෙන් පීඩාවට පත්වුණු මිනිසුන්ගේ නියෝජනයත් තිබෙනවා. 2024 තීරණාත්මක සටන ඇතිවෙන්නේ මේ කඳවුරු දෙක අතරයි. අපි මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා. ඔවුන්ට තිබුණේ, ඡන්ද කාලෙදි සාරියක් බෙදන දේශපාලනයක්. ඒ බෙදීම අමුතු අකාරයක බෙදීමක්. උපාසකම්මාට සිල් රෙද්දත්, තාත්තට අරක්කු බෝතලයත් බෙදුවා. අලියා ලකුණ වෙනුවට අමරවීර ලකුණ ගහලා ගිනිපෙට්ටිත් බෙදුවා. “

“අපේ රටට අවශ්‍ය අලුත් දේශපාලනයක්. බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂිං, පිරිත් පොත්, මළ ගෙයක් වුණොත් හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. මේ බෙදන දේශපාලනය නැවැත්විය යුතුයි. අපේ රටේ මිනිසුන් යාචක තත්වයට පත්කරලා, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම නැති, ගෙයක් හදාගන්න, දරුවට රස්සාව ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්වයක් හදලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන ‘සිටුවරු’ බවට පත්වුණා. ඒ දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට ‘හූ’ කියන තත්වයක් ඇති වෙලා.”

“එක අමාත්‍යවරයෙක් අනුරාධපුරේ ෆිල්ටර් වගයක් බෙදන්න ගියා. මිනිස්සු ‘හූ’ කියන්න ගත්තා. මෙහෙත් පොල් පැල බෙදනකොට ගමේ ස්වාමීන් වහන්සේ කිව්වලු “බෙදන්න ඕන නම්, පන්සලේ තියල යන්න. මම බෙදන්නම්” කියලා. බෙදන දේශපාලනය රටට හෝ ජනතාවට හෝ සුගතියක් වුණේ නැහැ. පුරවැසියන් යාචකයන් බවට පත්කරලා, ඒගොල්ලන් සිටුවරු බවට පත්වෙලා ඒ අයගේ අතපල්ලෙන් වැටෙන කුමක් හෝ ලැබෙන්න කියලා දෑත් ඔසවාගෙන ඉන්න දේශපාලනයද අද අපට ඕනෑ? මේ දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදි අපේ රටත් ජනතාවත් විශාල පීඩාවකට පත්වෙලා තිබෙනවා. අනිවාර්යයෙන් 2024දි මේ බෙදන දේශපාලනය අවසන් කොට හදන දේශපාලනයක් ස්ථාපිත කරනවා. එහිදී විශාලතම ශක්‍යතාවය තිබෙන්නේ අපේ අක්කලාට, අම්මලාට, දියණියන්ට. ඒ ඇයි? අද ගමේ සක්‍රීයම සමිතියක් තිබෙනවා නම්, ඒ සමිතිය කාන්තා සමිතිය. සක්‍රීයම කාර්යභාරය කරන්නේ කාන්තාව. ඒක ඇවිස්සුණොත් නතර කරන්න බැහැ. මෙවැනි දේශපාලකයනට හොඳම පාඩම උගන්වන්නත් හැකියාව තිබෙන්නෙත් මේ රටේ කාන්තාවන්ට. මේ විනාශකාරී දේශපාලනය අවසන් කරන්න හැකියාව ඔබ තුළ ගැබ්වී තිබෙනවා. කාන්තාව තුළ තිබෙන තෙතමනය, හැඟීම, ලෙන්ගතුකම, යුතුකම ඉටුකිරීමේ වගකීම වැනි උදාර සංකල්ප ඒගොල්ලෝ තොරොම්බල් කරලා වේදිකාවේ වික්කා.”

“මහින්ද මහත්තයා කටුනායක ගුවන් තොටුපොළ ඉඹිනකොට ‘පපුව හෝස් ගාලා පත්තු වුණා’ කිවුවා. මේ මනුස්සයා මේ රටේ මාතෘ භූමියට මොනතරම් ආදරේද? කියලා හිතුවා. කාන්තාව තුළ තිබෙන ඒ හැඟීම එයාලා කූද්දනවා. දරුවෙක් වඩා ගත්තම “බලන්ඩකෝ පීතෘ සෙනෙහස උතුරනවා. මේ වගේ නායකයෙක් තමයි අපිට ඕනෑ” කියලා හිතුවා. එක පැත්තකින් දරුවා ඔසවා ගන්න ගමන් අනෙක් පැත්තෙන් දරුවාගේ අනාගතය විනාශ කළා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. දරුවාට රස්සාවක් නැති රටක්, ණය ගෙවාගන්න බැරි රටක්, නිර්මාණය කළා. ජනතාවගේ හිතට වඩා සමීප වචනය පාවිච්චි කර, ‘අප්පච්චි’ කියන පෝස්ටර් ගැහුවා. එදා අපි රැවටුණා. අද පේනවා අප්පච්චි කෙළපු කෙළිල්ල. එයා අප්පච්චි වුණේ, එයාගෙ දරුවන්ටයි, මැරෑටි දේශපාලකයන්ටයි, එයා වටා ඉන්න චෞර කණ්ඩායමටයි. පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නගිනවා. කා වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. පුරවැසියන් වෙනුවෙන් නෙවෙයි. මීටර් 20ක දුර පේන්නේ නැති එයා රෑ නිරීක්ෂණ චාරිකා යනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles