බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් තුවාල ලැබූ තවත් 35 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර අද පෙරවරු 8ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් මෙම බස් රථය මාර්ගයේ අනෙක් පස තිබූ කණ්ඩියක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදු වූ බවයි සඳහන් වන්නේ.
ඒ වනවිට බස් රථය තුළ සිසු සිසුවියන් ඇතුළු 41 දෙනෙකු සිට තිබුණු අතර අනතුරින් තුවාල ලැබූවන් බස් රථයෙන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත් වූ අතර ඔවුන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව සඳහන්.
ඒ අනුව තුවාල ලබා සිටි 35 දෙනෙකු කඩිනමින් බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් 6 දෙනා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සෙසු පිරිස සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව බදුල්ල ශික්ෂණ රෝහලේ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කළා.
40 දෙනෙකුගෙන් යුත් මෙම පිරිසට යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක්, උපදේශකයින් 5 දෙනෙකු සහ අභ්‍යාසලාභීන් ඇතුළත් වනවා.
ඔවුන් අනතුරට ලක්ව තිබුණේ, ඊයේ (31) පස්සර පැල්ගහතැන්න කළමනාකරණ ආයතනයේ නවාතැන් ගෙන යළි ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා යමින් සිටියදීයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය කණ්ඩියේ ගැටෙන්නට ඇති බව පොලීසිය සැක පළකරනවා.