ඉන්දියාවේ දෙදින නිල සංචාරයක අවසන් කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) රාත්‍රියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියා.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරතව වූ ජනාධිපති වික්‍රමසිංහ, දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුව සිදු ව තිබුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේ නිරත වූ අතර, සංචාරය තුළදී දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්ව දැක්මක් ද එළි දැක්වුණා.
ප්‍රශංසා කිරීම හා ස්තූති කිරීම
එහි දී අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට, ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.
ඉන්දීය සහාය ඇතිව බලශක්ති කේන්ද්‍රස්ථානයක් හා ආර්ථික මධ්‍යස්ථානයක්
ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා වූ බවයි සඳහන් වෙන්නේ.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ඛනිජ තෙල් නල මාර්ගයක්
එසේම ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර තිබෙනවා.
බලය බෙදීමේ සැලැස්ම
උතුර සහ නැගෙනහිර බලය ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය ද මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
අනාගත ඉන්දු – ලංකා ගිවිසුම
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම අවධාරණය කර තිබෙනවා. එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බවයි පැවසෙන්නේ.
චෙන්නායි සහ යාපනය ගුවන් සේවා
ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නූතන සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා, මෑතකදී චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා දෙරට අතර ගුවන් සේවා සහ යාත්‍රා සේවා වැඩිදියුණු කිරීමට එකඟත්වයක් ඇති බවත් එය සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයටද ඉවහල් වන බවත් අගමැති මෝදි සමඟ සකච්ඡා කර තිබෙනවා.
ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපනය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපතිවරයා, ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහි කිරීම මඟින් රටේ ජාතික සංවර්ධනයට ලබා ගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද අවධාරණය කළ බවද සඳහන් වෙනවා.
මගී ප්‍රවාහන බෝට්ටු සේවා
තලෛමන්නාරම- රාමේෂ්වරම් සහ නාගපට්නම්- කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තව දුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවද ජනාධිපති වික්‍රමසිංහ එහි දී පවසා තිබෙනවා.