හිරුණිකා වැරැද්ද පිළිගන්න නිහතමානී වුණේ නෑ: නි. සොලිසිටර් ජනරාල්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීම මේ වන විට කතාබහට ලක්ව තිබෙන සිදුවීමක් වනවා.

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලෙක සේවය කරමින් සිටි තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් සාපරාධී බිය ගැන්වීමක් කළ බවටයි ඇයට එරෙහිව නඩුව පවරා තිබුණේ.

මෙහි අනෙක් විත්තිකරුවන් වූ ඇගේ ආරක්ෂකයන් 8 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12ක අත්හිටවූ සිරදඬුවම් නියම වුණා.

ඊයේ (28) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇයට දඬුවම් නියම කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විවෘත අධිකරණය හමුවේ කළ දේශනයේදී මෙසේ පැවසුවා.

“ස්වාමිනි මෙය නිකම්ම නිකම් පුද්ගලයෙක්ව ඩිෆෙන්ඩර් රථයකින් දමාගෙන යාමක් නොවෙයි. බලයේ සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් අයුතු ලෙස තමන්ගේ බලය පාවිච්චි කර ගෝලබාලයෝ යොදා පුද්ගලයෙක්ව බලහත්කාරයෙන් තමන්ගේ කාර්යාලයට ඇදගෙන ඇවිල්ලා පවුල් ප්‍රශ්න විසඳන්න දරපු උත්සාහයක්. මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරියකගේ පරම යුතුකම මහජන විශ්වාසය රැකීම. එහෙම තියෙද්දි මෙහෙමද මන්ත්‍රීවරු මහජනතාවට සලකන්නේ? එබැවින් ස්වාමිනි මේ වරදේ බරපතළකම මේ විත්තිකාරියටත්, ඇයගේ මග යන්න සිටින අනිත් අයටත් දැනෙන විදිහේ තීන්දුවක් ඔබතුමන්ගේ අධිකරණය දියයුතුයි. විත්තිකාරියට විරුද්ධව ඔප්පු වී ඇති චෝදනා 18ට වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළොත් අවුරුදු 69කට බන්ධනාගාර ගත කරන්න පුළුවන්. මේ වරද එතරම් තීව්‍රයි.‍

මෙම සිද්ධියේ අනෙකුත් විත්තිකරුවන් තමන්ගේ වැරැද්ද මුල් අවස්ථාවේදීම පිළිගෙන තිබුණත්, මෙම විත්තිකාරිය වචනයකින්වත් තමන්ගේ වැරුද්ද පිළිගන්න නිහතමානි වුණේ නැහැ. එබැවින් මේ සිද්ධියේදි අගතියට පත් වූ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය සමාජයට පණිවුඩයක් දෙන්න ඕනේ නීතිය රකින මිනිස්සුන්ව නීතියෙන් ආරක්ෂා කරනවා කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles