මම ගැහුවේ නැහැ, නඩු දානවා : මහින්දානන්ද

තමා පහර දී තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගුණතිලක රාජපක්ෂට තමන් පහරදුන් බව පවසමින් අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා අවස්ථා හතරකදී මාධ්‍ය හරහා චෝදනා කළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම ගුණතිලක මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පුත්‍රයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි තම නීතීඥවරයාට උපදෙස් දී අති බවයි ඔහු පවසන්නේ.

ඉකුත් 03 වෙනිදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාට රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් එම අවස්ථාවේ එලෙස රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ ‌නොහැසිරෙන්නැයි තමන් ඔහුට පැවසූ බවත් අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

එහිදී සිදු වූයේ බහින්බස් වීමක් පමණක් බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ගත් කටඋත්තරවල තමා පහරදුන් බවට සාක්ෂි නොමැති බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා කියා සිටින්නේ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවයක් මත මෙම චෝදනා සිදු කරන බවයි.

අද (14) නාවලපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles