වාර්ගික ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි කිසිදු විධායක ජනාධිපතිවරයෙකුට නොතිබූ බව ද එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙහි දැක්වෙන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.
ඒ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර – නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී පැවති සර්ව පාක්ෂික සමුළුවේදී.
එසේම පවතින ගැටලු විසඳාගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමන්ට හැකියාව ඇත්තේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් ජනපතිවරයා පක්ෂ නායකයින්ට අවධාරණය කර තිබෙනවා.
තව ද පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට මෙම සංශෝධන තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමුහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දෙන ජනපතිවරයා සමස්ත රටටම බලපාන කරුණක් වන 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවයි සඳහන් කර තිබෙන්නේ.
එසේම පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ වල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේ වුව ද පළමු ලැයිස්තුවට ඇතුළත් පළාත් සභා සතු විය යුතු විෂය කිහිපයක් මධ්‍යම රජය යටතේ පවතින බවත් එබැවින් එම බලතල මෙන්ම කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත්‍රවල බිම් මට්ටමේ කටයුතු පවත්වාගෙන යාමේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවත් මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පවසන ජනාධිපතිවරයා, පළාත් සභා වෙත සෑම ක්ෂේත්‍රයකම සංවර්ධන කටයුතු සඳහා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතු බවද පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් වශයෙන් සඳහන් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ගෙවිදු කුමාරතුංග, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, ජී.එල්. පීරිස්, පූජ්‍ය අතුරලියේ රතන, වීරසුමන වීරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, සී.වී. විග්නේෂ්වරන්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙහිදී අදහස් ප්‍රකාශ කළා.