ගාසා තීරයේ ප්‍රධාන නගරය වන ඛාන් යුනිස් වෙත මෙතෙක් එල්ල කළ දරුණුතම ප්‍රහාරය ඊශ්‍රායල හමුදා විසින් දියත් කර ඇති බව ජාත්‍යන්තර පුවත් ඒජන්සි වාර්තා කරනවා. යුද ගුවන්යානා ආවරණය සහිතව යුද ටැංකි පෙරටු කොටගත් ඊශ්‍රායල හමුදා දැන් නගර මධ්‍යයට ළඟාවී ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා.
ඊශ්‍රායෙල් පුවත් වාර්තා අනුව නගරය සම්පූර්ණයෙන් ම වටලා අවසන්.
ඊයේ (05) රාත්‍රිය පුරා ඛාන් යුනිස් නගරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි දැවැන්ත විනාශයක් සිදුව ඇති බවත් විශේෂයෙන් එහි ළමා මරණ රැසක් වාර්තා වී ඇති අතර විනාශ වූ ගොඩනැගිලි සුන්බුන්වල වැළලුණු මළ සිරුරු ඉවත්කර ගැනීම පවා දුෂ්කර බවත් වාර්තා වෙනවා.
ඒ අතර ගාසා තීරයේ සිවිල් වැසියන් සහ ඔවුන්ගේ යටිතල පහසුකම්වලට නිර්දය ලෙස එල්ල කරන මෙම ප්‍රහාර උමතු ප්‍රහාරයක් (PURE MADNESS) ලෙස පලස්තීන ප්‍රදේශ සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් විසින් හඳුන්වා තිබෙනවා. එය සිවිල් ජන සංහාරයක් ලෙස හැඳින්වූ ඇය එම ප්‍රහාර කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකි බව අවධාරණය කරනවා.
මෙලෙස සිවිල් වැසියන් ඝාතනය වහා නතර කළ යුතු බව අවධාරණය කළ ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරිය වැඩිදුරටත් කියා සිටියේ ඛාන් යුනිස් නගරයේ මේ වනවිට රෝහල් ක්‍රියාත්මක නොවන අතර ඖෂධ කිසිවක් නොමැති බවයි.
මේ අතර හමාස්හි සන්නද්ධ බළකාය වන ‘කසාම් බ්‍රිගේඩ්’ සඳහන් කළේ ඊශ්‍රායල හමුදාවලට දරුණු හානි සිදුකිරීමට තමන් සමත්වූ බවයි.
ගොඩබිම් සටන්වලදී තවත් සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඒ අනුව ගොඩබිම් සටනේදී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊශ්‍රායල හමුදාව සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.
මේ අතර ඛාන් යුනිස් නගරයේ ජීවිත හානි සමඟ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 16,248 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය කියා සිටියා. ළමයින් 7,112ක් සහ කාන්තාවන් 4,885ක් එම පිරිසට ඇතුළත් බව තවදුරටත් දැක්වෙනවා.
මේ අතර හමාස් සංවිධානය සමඟ යුද්ධයේ නිමාවත් සමග ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත්කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. එම මෙහෙයුම ඊශ්‍රායල හමුදාවට මිස වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයකට හෝ හමුදාවකට සිදුකළ නොහැකි බවයි ඔහු කියා ඇත්තේ.
පලස්තීන ගාසා තීරයේ මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියද අමෙරිකාව විසින් ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර නතර නොකරනු ඇතැයි මේ අතර රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළා.