පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන හිංසන වැලැක්වීම සඳහා බුද්ධි අංශ යෙදවීමේ සූදානමක් ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. ඊයේ (29) දින ගම්පහ දී ඇමැතිවරයා මෙසේද පැවසුවා.
“සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ග රැසකින් කාන්තාවන් සහ දරුවන් හිංසනයට සහ අතවරයට පත්වීම වත්මන් සමාජයේ විශාල ගැටලුවක් වී තිබෙනවා.කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් පසුගිය වසරේ විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනවා. ඒ සියලු කරුණු පිළිබඳව සලකා බලමින් අප පසුගියදා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බොහෝ දෙනකු ඒ පිළිබඳවද විවිධ විවේචන කරමින් සිටිනවා. නමුත් දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට 109 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. එහි පැමිණිලි භාර ගැනීම භාරව කටයුතු කරන්නේ ද කාන්තා පොලිස් නිලධාරිනියන්. එවැනි පැමිණිලි සම්බන්ධව පැය 48ක් ඇතුළත සම්පූර්ණ විමර්ශන කිරීමට පියවර ගෙන තිබෙනවා.”