ස්වාධීන කමිටුවක් හදන්න ක්‍රිකට් අතුරු කමිටු සාමාජිකයින්ට ආරාධනා

අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සඳුදා පත් කළ අතුරු කමිටුවේ සාමාජිකත්වය දැරූ විශ්‍රාමික විනිසුරුවරුන් තිදෙනාට තමන්ගේම ස්වාධීන කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා විසින් අතුරු කමිටුව පත් කළ ඉරිදා නිකුත් කළ ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි කමිටුවේ ජනවරම පවතිනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) කැපවී සිටී. මෙම කැපවීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ගෞරවනීය පුද්ගලයින්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාකාරී පියවරක් ගෙන ඇත. ස්වාධීන කමිටුවක් පිහිටුවීම සඳහා මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින්” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි.ඉමාම් සහ රෝහිණී මාරසිංහ සහ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.

විගණකාධිපති විසින් නිකුත් කරන ලද 2023 සැප්තැම්බර් 11 දිනැති විගණන වාර්තාවේ අඩංගු යොමු කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සහ දූෂණ, අක්‍රමිකතා වැළැක්වීම සහතික කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ උපාය මාර්ගික ක්‍රියාමාර්ග සැකසීම මෙම කමිටුවේ කාර්ය බවත් සඳහන්.

“මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය තුළ යම් යම් අඩුපාඩු හෝ අක්‍රමිකතා ඇත්නම් ඒවා විසඳීමට සහ විනිවිදභාවය සහ අඛණ්ඩතාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඇති අධිෂ්ඨානය පිළිඹිබු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කරයි. අමාත්‍යවරයා විසින් සිය ගැසට් පත්‍රය මගින් නම් කරන ලද පරිදි, අධිකරණයේ සේවය කළ ගෞරවනීය සාමාජිකයින්ගේ මැදිහත්වීම තවදුරටත් අවධාරණය කරයි. ආයතනයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් සාධාරණ හා අපක්ෂපාතී ක්‍රියාවලියක් සඳහා කැපවීම” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්.

එසේම “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩතාව, සාධාරණත්වය සහ හොඳම භාවිතයන් අනුගමනය කිරීම සහතික කිරීම සහ මහජනයා අතර පවතින වැරදි මත ඉවත් කිරීම සහතික කිරීම සඳහා කමිටුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපට විශ්වාසයි. මෙම කමිටුව විසින් සපයනු ලබන තීක්ෂ්ණ බුද්ධිය සහ නිර්දේශ සඳහා අපි බලාපොරොත්තු වන අතර ඔවුන්ගේ සොයාගැනීම් මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පූර්ණ කැපවී සිටිමු,” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles