යුද්ධය ගැන අපි දැඩි අවධානයෙන් : ජනපති රනිල්

ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසූ බව සඳහන්.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය පිළිබඳව ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ අතර, ඊශ්‍රායලයේ මෑත කාලීන ප්‍රහාර සහ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සහ ඊශ්‍රායල ජාතිකයින්ට එහි බලපෑම් පිළිබඳව ඔහු සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති වික්‍රමසිංහ එහිදී අවධානය යොමු කර තිබෙනවා. මෙම පුද්ගලයින් සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. මීට අමතරව, ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට යන සංචාරකයින් සහ සේවකයින් ඇතුළු පිරිසට නැවත පැමිණීමට පහසුකම් සැලසීමට සහාය වන ලෙස ඔහු ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල් ජාතිකයින්ට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සපයන ලෙස පොලිසියට උපදෙස් දී තිබෙනවා.

ජනපතිවරයා ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්වි-රාජ්‍ය සංකල්පය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහයෝගය යළිත් තහවුරු කරන අතරම, සිවිල් ජීවිත ගණනාවක් අහිමි කිරීමට හේතු වූ මෑත කාලීන හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනු ලැබුවා. ඊශ්‍රායලයේ ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචන එල්ල වුවද එවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බව ඔහු අවධාරණය කරනවා.

ගෝලීය ඉන්ධන මිල මත අර්බුදයේ පුළුල් ප්‍රතිවිපාක අවධාරණය කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉල්ලා සිටිනවා. දැනට පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන පරිදි දීර්ඝ කාලයක් ඉන්ධන මිල ඉහළ යාමට ඉඩ ඇති බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

මේ කරුණු ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles