ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස් වූ අතර ඊට සහභාගීවීට නොහැකි බව තමන් මීට පෙර දැනුම් දුන් බවයි.
එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කර තිබූ බවයි ඔහු පවසන්නේ.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය පක්ෂය යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ කුමන පදනමක් මත ද යන්න තීරණය කළ යුතු බවත් පක්ෂයේ නායකයා ලෙස තමන් එය දැනුම්වත් වියයුතු බවත් ය.
මධ්‍ය කාරක සභාව ගත් මෙම තීරණය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත් එය පිළිබඳ තමන් දැනුම්වත් නොකර මාධ්‍යට පැවසීම සුදුසු ක්‍රියාවක් නොවන බව ඔහු අවධාරණය කරනවා.
මේ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් පී. සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට ගත් තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් ඒකාබද්ධ තීන්දුවක් බවයි.
එම තීන්දුව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මාධ්‍යට පැවසු බවද එම නිවේදනයේ සඳහන්.
මෙම තීන්දුව සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා ලෙස මාවෙයි සේනාධිරාජා මීට පෙර දැනුම්වත්ව සිටි බවත් මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කළ වැඩිදුර කරුණු කාරණා පසුව ඔහුට පැවසීමට සිටි බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.