මෙරට ඉතිහාසයට තවත් ම්ලේච්ඡ ඛේදවාචකයක් එක් කරමින් සිදු කරන ලද පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5ක් සම්පූර්ණ වෙනවා.
2019 වසරේ අප්‍රේල් 21 වැනි දා යෙදුණු ඉරුදිනයේ සහරාන් හෂීම් නමැත්තා ප්‍රමුඛ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 8කදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 10ක් එල්ල කරමින් ජීවිත 273ක් උදුරා ගනු ලැබුවා.
500කට අධික පිරිසක් තුවාළ ලැබූ අතර ඇතැමුන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලැබීමට නොහැකි වී තිබෙනවා.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් යුක්තියක් තවම ඉටු වී නැති අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු බලධාරීන් ගණනාවක් වැරදිකරුවන් කරමින් වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.
මෙය පිටුපස දේශපාලන වුවමනාවක් තිබූ බවට මතයක් තිබෙන අතර, මේ දක්වා කතෝලික ජනතාව තමන්ට යුක්තියක් ඉටු වී ඇති බවට විශ්වාස කරන්නේ නැහැ.
මෙරට නිරපරාධී පුරවැසියන් 300කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඒ තිරශ්චීන බෝම්බ ප්‍රහාරය කුමක්දැයි හෙළි කළ යුතුවා සේ ම ඒ පිටුපස සිටි සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව යුක්තිය අගයන සියලු ජනයාගේ ඉල්ලීමයි.