එස්.ටී.එෆ් ස්වර්ණාභරණ අධිකාරිය එක්ක මැණික් ගැරිල්ලක

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් හා එක්ව රක්වාන ප්‍රදේශයේ අනවසර පතල් පොළක මැණික් ගැරීමක් සිදු කර තිබෙනවා. එසේ කර ඇත්තේ එහි සිටි පිරිසක් පළවා හැරීමෙන් පසුවයි.

මෙය සිදුව ඇත්තේ රක්වාන මාදම්පේවත්තේ රාමකෝරළයේ පිහිටා තිබෙන පතලකදීයි. මෙම අධිකාරියේ නිලධාරීන් සහ එස්.ටී.එෆ් නිළධාරීන් මැණික් ගැරීමෙන් පසුව ලොරි තුනක ඉල්ලම් පස් හාරා පටවාගෙන ගෙන ගොස් තිබෙනවා.

ඒ පැමිණි නිලධාරීන් අත තිබූ භූමියේ ඇති පාෂාණ හා ලෝහ වර්ග හඳුනා ගැනීමට හැකි ස්කෑනරයක් මගින් මැණික් ඇති ස්ථාන හඳුනාගෙනයි ඉල්ලම් හාරා තිබෙන බවයි පැවසෙන්නේ. ඊට අසල ඇති වතු නිවාසවල කම්කරුවන් ද සහයට ගෙන්වාගෙනයි ඇති බව වාර්තා වෙනවා.

මෙම පිරිස රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහ කහවත්ත කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බවයි රක්වාන පොලීසිය පවසන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම පතලට කඩා වැදී ඇත්තේ රක්වාන පොලිසියද දැනුවත් නොකර බව පොලිසීය සඳහන් කළා. මේ පිළිබඳව ගම්වැසියන් රක්වාන පොලිසියට දැනුම් දුන් පසුවයි රක්වාන පොලීසිය දැනුවත් වී තිබෙන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වු රක්වාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් එහි සිටි බවත් ඒ අය කහවත්ත කඳවුරේ නිලධාරීන් බවත් පවසන රක්වාන පොලිසියට විශේෂ කාර්ය බළකායේ පිරිස පවසා ඇත්තේ තමන් පැමිණියේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර කාර්යාලයෙන් කරනු ලබන වැටලීමකට ආරක්ෂාව සැපයීමට බවයි.

විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් එහි පැමිණ සිටින නිලධාරීන් ද හඳුනා ගැනීමක් සිදු කර ඔවුන්ගේ රාජකාරි හැඳුණුම්පත්ද පොලිසිය පරීක්ෂා කර නැවත එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.ඒ් ඔවුන්ගේ රාජකාරී සඳහා බාධා නොකිරීමටයි. නමුත් මෙම කිසිදු නිළධාරියෙක් රක්වාන පොලිසිය දැනුවත් කර නොපැමිණීම ගැටලුසහගත බවයි රක්වාන පොලිසිය සඳහන් කරන්නේ.

ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් චෝදනා කරනු ලබන්නේ වැටලීමකදී නීති විරෝධිව කැපූ ඉල්ලම් පස් රැගෙන යාමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට බලයක් ඇතත් ඉල්ලම් හාරා පස් සෝදා මැණික් ගැරීමට බලයක් නැති බවයි. ඉල්ලම් පස් රැගෙන ගිය මෙම නිලධාරීන් පැමිණියේ සවස 2.00ට පමණ බව ද ගම්වැසියන් පවසනවා. රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 119 හදිසි ඇමතුම් අංශයට ජනතාව විසින් කළ දැනුම්දීමකට අනුව පැමිණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ රාත්‍රී 9.30ට පමණ බවත් පැවසෙනවා. ඒ් බව පොලිසිය විසින් ද lankaline කළ විමසීමකදී තහවුරු කරනු ලැබුවා.

කෙසේ වුව ද පොලිස් නිලධාරීන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කණ්ඩායමට සම්බන්ධ පිරිසක් ස්කෑනර් යන්ත්‍ර යොදාගෙන වළවල් හාරමින් ඉල්ලම් පස් රැගෙන මැණික් ගැරීමට පටන්ගත් බවත් හැම දෙයක්ම සිදුවූයේ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව බවත් ගම්වැසියන් පවසනවා. එසේම අලුයම 2.00 පමණ වන තුරුම මෙම ස්ථානයේ මැණික් ගැරීම් සිදුවූ බවයි ඔවුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගෙන් lankaline විමසීමට උත්සාහ කළ ද ඊට ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක් වු අතර රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ද කිසිවෙකුද දුරකතනවලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

කෙසේ වූව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සිදු කළේ කුමක් ද යන්න නිශ්චිතව පැහැදිලි වන්නේ නැහැ. වැටලීමකට පැමිණියේ නම් අදාළ බල ප්‍රදේශයේ පොලීසිය දැනුවත් කිරීම අනිවාර්ය බව රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා. වැටලීමෙන් පසු නඩු භාණ්ඩ ලෙස පුද්ගලයින් සහ උපකරණ උසාවියට ඉදිරිපත් කළ යුතු වෙනවා. එසේ ම මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යා යුතු වෙනවා. ඒ කිසිවක් මේ වන විට සිදුව නැති බවයි අප කළ විමසීම් වල දී ආනාවරණය වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles