කාර්තිව් ඛේදවාචකය : විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති හෙයින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට වාර්තා වුණා.

බස් රථය ධාවනය කිරීම නතර කර ඇත්තේ ද ඒ වනවිට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන්.

එවන් පසුබිමක මුදලට මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයෙන් දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මාර්ගය අවදානම් බැවින් ට්‍රැක්ටර් රථයෙන් දරුවන් ප්‍රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබූ බවද වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීයෑගොස් තිබූ අතර ඉන් ඒ මොහොතේ සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් විය.

මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙක්.

මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊට අමතරව ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles