ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (27) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණා.
එම නඩුවේ පළමු සැකකරු ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දුගේ නීතිඥ ජාලිය සමරසිංහ සැකකරු වෙනුවෙන් අධිකරණයේදී ප්‍රකාශ කළේ ‘ඇමැති කිව්වා මම කළා‘ යනුවෙන්.
මෙම නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධය පළමු සැකකරු රහස් පොලිසියට දන්වා සිටියද ඒ පිළිබඳව සටහන් කර ගැනීම පවා රහස් පොලිසිය ප්‍රතික්ෂේප කළ බවයි සැකකරුගේ නීතිඥයා උසාවිය හමුවේ පැවසුවේ.
රහස් පොලිසිය විසින් හිටපු ඇමැතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීම පළමු සැකකරුගේ නීතිඥවරුන් එහිදී දැඩි දෝෂදර්ශනයට ලක් කරනු ලැබුවා.
ඒ අතර පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කරුණු දක්වමින් හිටපු ඇමැති විසින් කැබිනට් මණ්ඩලයට සංදේශ තුනක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා 6 වන සැකකරු වන සෞඛ්‍ය හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගේ අවධානයට ලක් කර ඇති බවත් පවසා සිටියා.
ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහලු, පොස්ටේට් ග්‍රන්ථිය, ආමාශය ආශ්රිත පිළිකා රෝගීන් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ටි විතානය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන ඖෂධ, රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීමට වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පළමු සැකකරුට ගැනුම් ඇණවුමක් නිකුත්කර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා.
ඊයේ නඩු කටයුත්තේ දී මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ ඇමැතිවරයා ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශය අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ දැනුවත්භාවයක් තිබුණු බව පෙනී යන බවයි.
පස්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ කැබිනට් පත්‍රිකා හදන්න කියා කීවේ තම සේවාදායකයාදැයි යනුවෙන් ප්‍රශ්න කර සිටියා. ‘මේ නඩුවට අල්ලන්නේ පොඩි උන් විතරද? ලොකු උන් අල්ලන්නේ නැද්දැ’ යි ඔහු තවදුරටත් විමසා සිටියා.
ලොකු උන්ගේ ගෙවලවලට ගිහින් පොලිසිය කටඋත්තර ලියා ගන්නවා. නීතිය කාටත් එක හා සමාන විය යුතු යැයි කී නීතිඥ අශෝක සේරසිංහ, වැඩ්ඩෝ ටික එළියේ පොඩ්ඩෝ ටික ඇතුලේ යැයි ද අධිකරණය හමුවේ පැවසුවා.
පළමු සැකකරු එහිදී “හෙට ප්‍රකාශ ගනිද්දී, කවුද කිව්වේ කොච්චර සල්ලි ගත්ත ඔක්කොම මම කියන්නම්“ යනුවෙන් කියා සිටියා. “ප්‍රශ්නයක් නැහැ. මට නඩුවක් දාන්න. මං ළඟ මුදල් තියෙනවා. රුපියල් ලක්ෂ 50ක් මං ගෙවන්නම්. මගේ රසායනාගාරය විතරක් රුපියල් කෝටි 1000ක් වටිනවා“ යනුවෙන්ද වැඩිදුරටත් ඔහු අධිකරණය හමුවේදී පැවසුවා.
කෙසේ වෙතත් මෙහිදී පැහැදිලිවම පෙනී යන්නේ ඇමැතිවරයාගේ මේ සිද්ධියට ඇති ඍජු සම්බන්ධය බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ.