කුලියාපිටිය ඝාතනය: පෙම්වතිය සැකපිට අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයාගේ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර පෙම්වතිය වන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමැත්තාගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේදි කුලියාපිටිය පොලිසියට කැඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරිම යන චෝදනා යටතේ ඇයව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 18 හැවිරිදි වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකාර තරුණියගේ ඥාති නිවසක ඇය සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව සැකකාර තරුණිය ඇයගේ ඥාතියෙකු සමඟ ඊයේ (12) කුලියාපිටිය පොලිසියට පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර තරුණිය ප්‍රකාශ කර ඇත්තේ තමන් අවුරුදු 15ක වයසේ පසුවන පාසල් සිසුවියක්ව සිටියදී සුසිත් නැමැති ඝාතනයට ලක් වූ තරුණයා තමන්ට පිහියක් පෙන්වා මරාදමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට රැගෙන ගොස් පළමු වතාවට තමන්ව දූෂණය කළ බවය.

ඉන්පසු ඔහු වරින් වර තමාව දූෂණය කළ බවත්, තමන්ව මරා දමාවි යන බියට තමා මේ බව මවුපියන්ට නොකියූ බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

නැවතත් වසර කිහිපයකට පසුව පසුගිය ජනවාරි මාසයේ කිසිවකු නිවසේ නොමැතිව සිටි අවස්ථාවක පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර ඔහු තමන්ව දූෂණය කළ බවත්, ඉන් පසුවද අවස්ථා ගණනාවකදී තමන්ව දූෂණය කළ බවත් සැකකාර තරුණිය පොලිසිය හමුවේ කියා තිබෙනවා.

තමන් ගැබ් ගෙන ඇති බව පෙනී ගිය නිසා ඒ සම්බන්ධයෙන් ඔහුට දැනුම් දුන් පසු ඔහු තමාට බෙහෙත් පෙති වර්ග 05ක් ලබාදි ඒ්වා පානය කරන ආකාරය පැවසූ බවත් අනතුරුව එම බෙහෙත් පෙති පානය කිරීමෙන් පසුව ගබ්සා වූ බවත් ඇය වැඩිදුරටත් තම ප්‍රකාශය ලබාදිමේදි පැවසූ බව සඳහන්.

මේ අතර ඝාතනයට ලක් වූ සුසිත් ජයවංශ තවත් තරුණියක් සමඟ ද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයද ගැබිනියක් බව දැනගත් පසු ඇයගේ දරු ගැබද මෙලෙස ගබ්සාවකට ලක් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ තරුණයා මීට පෙර විවාහකව සිට බිරිඳගෙන් වෙන් වී සිටින අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් 9 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles