මත්පැන් නිෂ්පාදන ආයතන කෝටි 725ක බදු ගෙවීම් පැහැර හැරලා

මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙනවා.

මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් රුපියල් කෝටි 715ක්ද රානිෂ්පාදන ආයතන 13කින් රුපියල් ලක්ෂ හැට දෙකකට වැඩි මුදලක් ද, මත්පැන් ස්කාගාර තුනකින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද වශයෙන් බදු ගෙවීම පැහැර හැර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙයට අමතරව මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අපතය සඳහා හිඟ බදු වශයෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද පවතින බව විගණන අංශ නිකුත් කළ වාර්තාවේ සඳහන්.

පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම් කර ඇති අතර සුරා බදු නිවේදන වල විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම අය කරගැනීමට කටයුතු කර නොතිබූ බවත් මුළු හිඟ සුරා බදු ආදායම ක්‍රමයෙන් වැඩිවීමක් නිරීක්ෂණය වන බවත් විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

මේ අතර බීඩි කර්මාන්තයේ නිරත ආයතන 318කින් ආයතන දෙසිය දොළහක් ලියාපදිංචිය අලුත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසු විපරමක් ද කර නොතිබූ බවත් විගණන වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ලියාපදිංචි කර තිබූ ඉතිරි ආයතන 106 න් පසුගිය වසරේදී කිසිදු බදු මුදලක් අය වී නොතිබුණු බව සඳහන් කරන විගණන කාර්යාලය බදු අය කර ගැනීමේ දී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදකයන් වර්ග කර නොතිබූ බවද සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles