2012 වසරේ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් පිරිසකට පහරදී එම බන්ධනාගාරයට අයත් දේපළවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවන් 24දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.
අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 43 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමට එකඟ වූ අතර, ඒ අනුව එම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධන නමැත්තාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද නියෝග කළ බව සඳහන්.
ඒ අනුව මීළඟ නඩු දිනයේ එක් එක් විත්තිකරුවන් විසින් රුපියල් 7,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
ඊට අමතරව මෙම සිද්ධියේදී මැගසින් බන්ධනාගාරයට සිදුවූ රුපියල් ලක්ෂ 52 කට අධික හානිය වෙනුවෙන් එක් එක් විත්තිකරුවන් විසින් රුපියල් 122,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් එම වන්දි මුදල දෙසැම්බර් 13 වෙනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවත් විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.