පෝලිම පැන රණ්ඩුකළ මහේස්ත්‍රාත් බිරිය නිසා කෝටියක් ඉල්ලා පොලිසියට නඩු

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තරුණ අඹු සැමි යුවලක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අඹු සැමි යුවළ මෙලස පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ රාගම පෞද්ගලික රෝහලක පෝලිමේ සිටියදී මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ සමඟ වූ බහින්බස්වීම දුරදිග ගොස් තමන්ව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරවීම හේතුවෙන්.

එලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම මඟින් රාගම පොලීසියේ නිලධාරීන් විසින් තම මූලික අයිතිවාසිකම් කඩකළ බව පවසන ඔවුන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳට සුවිශේෂ සැලකිල්ලක් දැක්වීම හේතුවෙන් තමා මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූවේ චමින්ද කෞශල්‍ය සහ දිනූෂා රණතුංග යන අයයි.

චමින්ද කෞශල්‍ය සහ දිනූෂා රණතුංග යන තරුණ අමු සැමි යුවළ ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාගම පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

වෛද්‍යවරයා හමුවීම සඳහා තමන්ගේ වාරය පැමිණෙන තුරු පෝලිමේ සිටියදී හදිසියේ එහි පැමිණි කාන්තාවක් පෝලිම පිළිබඳ නොසලකමින් කෙළින්ම වෛද්‍යවරයා හමුවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ඒ පිළිබඳ ඇගෙන් ප්‍රශ්න කිරීමේදී තමා මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ බව ඇය සඳහන් කළ බවත්, ඒ අවස්ථාවේදී ඇය සමග බහින්බස් වීමක් වූ බවත් සඳහන්.

මෙම බහින්බස් වීමෙන් අනතුරුව එහි පැමිණි රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන් අත්අඩංගුවට ගෙන රාගම පොලීසියට රැගෙන ගිය බවත්, පසුදා තමන් වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කරවූ බවත්, සඳහන් කරන පෙත්සම්කරුවෝ ඉන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles