උසාවියේ තුවක්කුවලින් පාතාලයෝ වෙඩි තබති

ජූලි 21 වෙනිදා මාතර අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විසින් මාතර පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ නඩු භාණ්ඩ ලෙස අධිකරණ නඩු ගබඩාවේ තිබූ හෙරොයින් පාර්සල් දෙකක් අස්ථානගත වී ඇති බව කියමින්.

මේ පිළිබඳ විමර්ශන කළ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හෙළිදරව් කරගෙන තිබෙන්නේ බරපතළ කරුණු ගොන්නක්.

ඒ අධිකරණ බඩු ගබඩාවෙන් අතුරුදන්ව ඇත්තේ හෙරොයින් පමණක් නොව ගිනි අවිද අතුරුදන් වී ඇති බවයි. පසුගිය මාර්තු 17 දා දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවතේ වෙඩි තැබීම කළ ටී.56 ගිනි අවිය ද උසාවියේ නඩු භාණ්ඩ අතර තිබූවක් බවද අනාවරණය වී තිබුණා.

මේ අනාවරණයන් සිදු කරගෙන තිබෙන්නේ මාතර අධිකරණයේ සේවය කරන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම ඔස්සේයි. කෙසේ වෙතත්, මෙම ගිනි අවියට අමතරව රිවොල්වරයක් ද රුපියල් 280000කට විකුණා දමා තිබෙනවා. තුවක්කු සහ හෙරොයින් ඇතුළු නඩු භාණ්ඩ විකිණීමේ ජාවාරමක් මේ අනුව හෙළිදරව් වී ඇති බවයි වාර්තා වන්නේ. එකී නඩු භාණ්ඩ අතර තිබූ රිවෝල්වරය මිලට ගත් බෝට්ටු හිමිකරුවෙක් සහ අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයාද, බහුකාර්ය නිලධාරීන් දෙදෙනාද ඇතුළුව 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර උසාවියේ ගිනි අවිවලින් පාතාලයේ උණ්ඩ පිටවීම ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles