මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා – නත්තලේ සැබෑ අර්ථ මතු වේවා!

ලොව පුරා සුවහසක් කිතුණු බැතිමතුන් සතුටින් සමරණ නත්තල් දිනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා. දේව පුත්‍රයාණෝ ලෙස සැලකෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව උපත ලැබු දිනය ලෙස සැලකෙන්නේ දෙසැම්බර් 25 දිනයි.

එය බයිබලයේ මෙසේ සඳහන් වෙයි.

ශු. ලූක් 2:8-14
තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ. දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය. එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.

මනුෂ්‍යයන් අතර සමාදානය පිණිස යේසුස් ක්‍රිස්තුන් මෙලොවට දායාද කළ බවයි ඉන් කියැවෙන්නේ. එහෙත් වසර දහස් ගණනකට පසුවත් නත්තලේ සැබෑ අරමුණ ඉටු වී දැ යි ඇත්තේ පැනයක්.

ක්‍රිස්තු උත්පත්තිය සිදුවූ බවට සැලකෙන බෙත්ලෙහෙම් නගරයේ මෙවර නත්තල් උත්සවය නොපැවැත්වෙන්නේ ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන්. නත්තලෙහි සැබෑ අර්ථය බොහෝ සෙයින් යටපත්ව ඇති බව රහසක් නොවෙන බව කිව යුතුයි.

නත්තලෙහි සැබෑ අර්ථ ඉස්මතු වීම පිණිස දනන් සිත් නැමෙන නත්තල් දිනයක් වේවා යන්න Lankaline අපගේ පැතුමයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles