ජාත්‍යන්තරය ජයගත් Dilmah ගොඩ නැගූ මෙරිල් ජේ. ප්‍රනාන්දු (1930-2023)

මෙරට සන්නාමයක් (Dilmah) ඉහළින් ජාත්‍යන්තර ගත කළ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෑත ඉතිහාසයේ ලංකා ආර්ථිකය විෂයෙහි ඔහු කරන ලද ධනාත්මක බලපෑම නොගිණිය හැකි තරම් වටිනාකමක් සහිත වන අතර පහත පළ වන්නේ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාගේ ජීවිතයේ කරුණු සම්බන්ධයෙන් ලියැවුණු ලිපියකි – Lankaline

ග්‍රාමීය මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන මෙරිල් ජේ. ප්‍රනාන්දු 1930 දී උපත ලැබුවේ මීගමුව පල්ලන්සේන ග්‍රාමයේය. 2023 ජුලි 20 දින දිවි ගමන නිම කළේ ය. ඔහු වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකුත් සොයුරියන් තිදෙනෙකුගෙන් සමන්විත සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා විය. කුඩාකල මීගමුව මාරි ස්ටෙලා විදුහලෙන් අධ්‍යාපනය ආරම්භ කළ ඔහු දෙවනුව මරදාන සෙන්ට් ජෝසෆ් විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවේ ය. කුඩා කල සිටම මනා ලෙස ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරීමට ඔහු සමත් වූයේය.

යටත්විජිත පාලන සමයේ තම පළමු පුහුණුව ලෙස ඩාර්ලි සහ බට්ලර් සමාගමේ පුහුණුවන “ටී ටෙස්ටර් “ කෙනෙකු ලෙස ගමන ආරම්භ කරන ඔහු එහි වසර දෙකක කාලයක් පුහුණුව ලබාගත්තේ ය.ඉන් අනතුරුව ඒ අංශයෙන් රැකියා ගණනකට අයදුම් කළද ඉංග්‍රීසි ජාතිකයන්ට හෝ කොළඹ හතේ පැළැන්තියට පමණක් ඉහළ සමාගම් මගින් රැකියා ලබාදීමේ ප්‍රතිපත්තිය නිසා වයස 22 දී සිය පළමු රැකියාව ලෙස සිය පළපුරුදු ක්ෂේත්‍රය අතහැර “මොබිල් ඔයිල් “ සමාගමේ රැකියාව ආරම්භ කරන්නට ඔහුට සිදු විය. ලංකාව පුරා පෙට්‍රෝල් ෂෙඩ් කරාගොස් සමාගම වෙනුවෙන් ඕඩර් ලබා ගැනීම එහි ඔහුට අයත් කාර්යය විය. වසර දෙකක් එම රැකියාවේ නිරතවන අතරතුර තම සිහිනය සාර්ථක කරගැනීම සදහා දිගින් දිගටම අයදුම් පත්‍ර යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසි ජාතික යුවලකට අයත් “AF ජෝන්ස් “ තේ සමාගමට එක්වීමට හැකියාව ලැබිණි . එහි සේවයේ නිරතවෙන අතරතුර ඔහුව එංගලන්තයේ ඔවුන්ගේ හවුල්කාර සමාගමක් වන “ජෝසෆ් ට්‍රැවර්ස් ඇන්ඩ් සන්ස් “ සමාගමට ඔහුව පුහුණුවක් සදහා යොමු කරන ලදී . එය ඔහුට නිකන්ම ලැබුණු පුහුණුවක් නොවන අතර පවුම් 92 ක් සිය පෞද්ගලික මුදලින් ගෙවා ගිය ගමනක් විය.

පුහුණුව ලබන කාලය තුළ තේ කර්මාන්තයේ සිදු වන සියලු ක්‍රියාකාරකම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත් වන්නට මෙරිල් උත්සුක විය. ලාංකිකයන් විසින් සිය දෑතින්ම නෙළාගන්නා තේ දල්ල ඉතා සුපරීක්ෂාකාරී ලෙස තේ කුඩු බවට පත් කරන්නට දරන වෙහෙස සහ කැපවීම පිළිබඳව හොඳ අවබෝධයකින් සිටි මෙරිල්ට අමු ද්‍රව්‍යයක් ලෙස යුරෝපයට ගෙන යන ලංකාවේ තේ කුඩු කලවම් කර නැවත සකසා වෙළඳ නාමයන්ද එක් කර සිදු කරන අධික ලාභ ලබන ව්‍යාපාරය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

එහිදී තේ අලෙවියෙන් අධික ලෙස ලාභ උපයන එංගලන්ත තේ වෙළඳපොළ දුටු ඔහු අප රටින් ඉතා අඩුමිලට තේ මිලදී ගෙන විදේශිකයන් සූරාකන්නා වූ  අප රටට අයත් ආදායම නැවත  අප රටට හැරවීමට දැඩිව අදිටන් කරගත්තේ ය .

නැවත ලංකාවට පැමිණ ඔහු කෙටිකලක් පෙර සමාගම සමගම සේවය කර 1962 දී ඔහු “මෙරිල් ජේ ප්‍රනාන්දු  කම්පැනි ලිමිටඩ් “ නමින් ඔහුගේම සමාගමක් ආරම්භ කළේය. ආරම්භයේදී 18 දෙනෙකුගෙන් යුත් සේවක පිරිසකගෙන් ඔහුගේ කාර්‍යය මණ්ඩලය සමන්විත විය. පළමුව අමුද්‍රව්‍ය පිටරට යැවීම සිදුකළ අතර රුසියාවේ ඔහුගේ තේ සදහා හොඳ ඉල්ලුමක් ඇතිවිය. ඔහුගේ තේ ලබා ගැනීම සඳහාම  රුසියාවේ සිට ගුවන්යානා ලංකාවට පැමිණියේය .

කිසිදු මිශ්‍රණයකින් තොර නැවුම් තේ නිපදවීමේ පුරෝගාමියා වන්නට මෙරිල් ජේ. ප්‍රනාන්දුට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. වත්තෙන් නෙළා ගන්නා තේ දල්ල, තේ වත්තේම කර්මාන්ත ශාලාව තුළ තේ කුඩු බවට පත් කර, ඇසුරුම් කර නිෂ්පාදකයා විසින්ම නැව්ගත කළ හැකිය යන සංකල්පය පිළිනොගත් ආයතන සහ තේ අධිකාරිය සමඟ දශක ගණනාවක් තිස්සේ නොයෙකුත් බාධක දුක් කම්කටොලු අභියෝග මැද අරගලයක යෙදුණු මෙරිල් ජේ. ප්‍රනාන්දු තේ ලොව මිත්‍යාවන් පරාජය කරමින් විජයග්‍රහණය කළේ ය.

70 දශකයේදී ජනසතුකරණය යටතේ ඔහුට අයත් අක්කර 328කින් සමන්විත වූ ලිදුල මෙල්ටන් වතුයාය රජය මගින් පවරාගැනීම ඔහුගේ දිවියේ මුහුණදුන් අමිහිරිම අත්දැකීම විය.

1988 දී ඔහු “Dilmah” නාමය යටතේ එකතුකළ අගයන් සහිත  තේ නිෂ්පාදනයන් රටට හදුන්වා දුන්නේ ය. සිය පුතණුවන් දෙදෙනා වන ඩිල්හාන් සහ මලික් යන දෙදෙනාගේ නම් වලින් එකතුවක් ලෙස ආරම්භ කල Dilmah සන්නාමය ඉතා ඉක්මනින් සිය වෙළඳපොල කොටස අත්පත්කරගැනීම ඇරඹුණි. ස්වකීය සන්නාමය ඔහු ආරම්භ කරන ලද්දේ ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු 35 කට පසුව, එනම් වයස 58 දී ය .

අද වන විට ලෝකයේ රටවල් එකසිය ගණනකට ඔහුගේ නිෂ්පාදන අපනයනය කරනු ලබයි. දිවියේ සැඳෑ දශකයේදීත් ඔහු “school of tea “ නම් සංකල්පය ඔස්සේ තේ පිලිබදව ඉගෙන ගැනීමට කැමති දේශීය සහ විදේශීය ඕනෑම අයෙකුට “තේවල ගුණය සහ වටිනාකම “ පිළිබද දැනුම බෙදා දුන්නේ ය.

වසර 2015 දී මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා කහවත්ත ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. සමාගමේද  සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්විය

වසර 2015 දී මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා කහවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූයේ ය.

2015 වසරේදී ඔහු නෝර්වේ ඔස්ලෝ නුවර ව්‍යාපාර සාමය සඳහා වූ ව්‍යාපාර සම්මානය (Peace for Busibess) 2016  වසරේ දී ‘අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ්ද ඉයර්‘ සම්මාන උළෙලේදී ‘අන්තර්ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට හිමි සම්මානය දිනාගත්තේ ය.

අද Dilmah ලොව මුල්ම තේ සන්නාමයන් 10 අතරට එක්ව ශ්‍රී ලංකා මාතාවගේ ගෞරවය නම් කිරුළේ මිණිකැටයක් ව වැජඹෙයි.

ඩිල්මා කන්සර්වේෂන් සහ මෙරිල් ජේ.ප්‍රනාන්දු පදනම හරහා MJF මධ්‍යස්ථාන මගින් විශාල සමාජ මෙහෙවරයන් ප්‍රමාණයක් වාර්ෂිකව රට වෙනුවෙන් ඉටුකෙරෙයි. ළමුන් දහසකට වඩා ප්‍රමාණයක් ඔහුගේ සමාජ සත්කාරක වැඩපිළිවෙල නිසා ඔවුනගේ දිවි එළිකර ගනිති.

“මේ රටේ ඇති නැති පරතරය මහා විශාලයි. තියෙන කෙනාට ඕනෑවටත් වැඩියි. නැති මිනිහට එදා වේලත් නැහැ. බැංකුවල තියාගෙන ගොඩ ගැහුවට දවසක ඒවා දාලා යන්නෙ. ඒ මුදලින් සියයට එකක්, දුප්පතුන්ගේ ජීවිත නඟා හිටුවන්න වැය කළාට පොහොසතා වැටෙන්නෙ නැහැ.” මේ ලොවම දන්නා  Dilmah හිමිකරුගේ වචනයෙන්ම ව්‍යාපාරිකයන්ට දුන් පණිවිඩයයි.

  • අනුරාධ සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles