මිග් යානා ගනුදෙනුව : උදයංගට අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංගට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර ඊයේ (05) නියෝග කළා.

එසේම අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇති බැවින් නැවත වරක් සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරනු ලැබුවා.

එහිදී සැකකරුවන් ලෙස නම් කර ඇති ලී සහ කිම් යන සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ තම සේවාදායකයන් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත ලබාදී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.

ප්‍රකාශයක් ලබාදීම කැමැත්ත ලබා දී තිබියදීත් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා නොගෙන අපරාධමය වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසමින් ඔවුන්ට විරුද්ධව නිල් නිවේදන නිකුත් කර ඇති බවද ඔහු දැනුම් දෙනවා.

නමුත් කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වූයේ කෙසේදැයි විමර්ශනය කිරීම බවද නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළා.

එහිදී අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයාට උද්දෘත ගොනු කර ඇති බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියා.

ඒ පිළිබඳ මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරට දැනුම් දෙනු ලැබුවා.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ නඩුකරය ලබන දෙසැම්බර් 4 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles