මිග් ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇතැයි සැක කරමින් අත්හිටුවා ඇති බැංකු ගිණුම් දෙකක ඇති රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් තමන් වෙත මුදාහරින ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෝසමක් මඟින් ගොනු කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රුසියාවේ හිටපු තානාපතිවරයා ලෙස වසර 9ක් කටයුතු කළ තමන්ට ලැබුණු තානාපති වැටුප, නිවසක් විකිණීමේ හා සංචාරක නිකේතනයක් විකිණීමෙන් ලැබුණු මුදල් මෙම ගිණුමේ තැන්පත් කළ බවට විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අධිකරණයට ඔහුගේ නීතිඥයන් මඟින් දන්වා තිබුණා.
නඩුව කැඳවූ අවස්ථා කිහිපයකදී අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල විසින් විත්තියට දැන්වීම් කළද යුක්රේන් රාජ්‍යයෙන් කළ විමසීමක් අනුව එරට පොලිසියට අදාළ ලේඛන ඉදිරිපත් කළ නොහැකි බවට විත්තිය අධිකරණයට දැන්වූ බව සඳහන්.
එහිදී කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක යුක්රේන් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව එවැනි ඉල්ලීමක් නොකළ බවත් ඔවුන් අදාළ චෝදනා පිළිබඳ වෙනම පර්යේෂණයක් පැවැත්වූ බවත් කියා තිබෙනවා.
දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය විත්තිය ඉල්ලා සිටින පරිදි මුදල් මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කිරිමට නොහැකි බවට ප්‍රකාශ කළ බවයි සඳහන් වන්නේ.