මිහින්තලා පුදබිම වෙත සවස හා රාත්රී පැමිණි දේශීය සහ විදේශීය ජනතාව මහත් අපහසුතාවට පත්ව තිබෙනවා. ඒ ඊයේ (03) මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කිරීම හේතුවෙන්.
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි එම පිරිස් අතීත කාලයේ මෙන් “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කළ බවයි වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ.
ඒ් අතර ශ්රී ලාංකිකයන්ට අමතරව ප්රංශ ජාතිකයන් ඇතුළුව විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක් ද “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කළ බවයි ඒ හිමියෝ සඳහන් කළේ.
පෙරහැර සහ පොසොන් උත්සවය පැවැත්වීම නිසා එකතු වු ලක්ෂ 41ක විදුලි බිල තමන් පාවිච්චි කල විදුලිය නොවන බවත් පොසොන් උත්සවයට පැමිණි ජනතාවට ආලෝකය ලබා දීම නිසා වැය වූ විදුලිය බවත් පෙන්වා දෙන උන් වහන්සේ ආණ්ඩුව කරන ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමතිවරයා විසින් මේ සිදු කළ ක්රියාව දැඩි ලෙස හෙළා දකින බවයි පවසන්නේ.
එසේම මේ විදුලි බිල ගෙවීමට ලොකු ඉතිහාසයක් ඇති බවත් 1979 වර්ෂයේ සිට රාජ්ය අනුග්රහයෙන් මෙම පුද බිමේ වැඩ කටයුතු කෙරුණ බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.
තවද කිසි විටකත් තමන් ආණ්ඩුවේ කිසිවෙකු ළඟ දණින් නොවැටෙන බවත් තමන්ට හැකි ලෙස මිහින්තලා පුදබිම පවත්වාගෙන යන බවත් වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කරනවා. විදුලිය ලබා නොදෙන්නේ නම් සුර්ය කෝෂ සවි කර විදුලිය ලබා ගන්නා බව ද වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් තවදුරටත් පවසනවා.