කඩිමුඩියේ ගෙනා කෝටි 5ක ඖෂධ උපකරණවල දිලීර: භාවිතය අත්හිටුවයි

ඉන්දියාවෙන් ගෙන්වන ලද භාවිතා නොකළ සෞඛ්‍ය උපකරණ කාණ්ඩයක පරීක්ෂාවකින් පසු ඒවායේ දිලීර ඇති බව සොයාගෙන තිබෙනවා. මේ ඖෂධ උපකරණ රෝහල්වල භාවිතයේදී විවිධ සංකූලතා මතු වූ බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇතැයි කියන ඩයලිසිස් මිනි කැප් කාණ්ඩයක් මෙසේ භාවිතයෙන් ඉවත් කර රඳවා තබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙම ඖෂධ උපකරණ තොගය ඉන්දියන් ණය යෝජනා ක්‍රමය අනුව ලැබුණු ඒවා බවත්, ඒවා තත්ව පරීක්ෂාවන්ට භාජනය නොවුණු බවත් පැවසෙනවා. එසේම ඒවායේ වටිනාකම රුපියල් මිලියන 50කට ආසන්න බවයි දැනගන්නට ඇත්තේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හදිසි මිලදී ගැනීමක් ලෙස ඉන්දියාවේ St. Stone Medical Device (Pvt.) Ltd නම් සමාගමට මෙම ඇනැවුම ලබා දී ඇතත් වෙනත් සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් මෙම වර්ගයේ උපකරණ තොගයක් ඒ වන විටත් අමාත්‍යංශය සතුව පැවතුණු බවයි ආරංචි මාර්ග තවදුරටත් වාර්තා කරන්නේ.

එම පැවති තොග පවා රෝහල්වලට බෙදා නොදී මෙලෙස අලුතෙන් තොග මිලට ගෙන තිබෙන්නේ හදිසි අවශ්‍යතා ලෙස සලකමින් නියමිත ටෙන්ඩර් පටිපාටියකින්ද තොරවයි. මෙම අයිතමයන් වකුගඩු රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නා ඒවා බව සඳහන් වනවා.

නියමිත තොග පැවතියදීම, හදිසි අවශ්‍යතා සේ සලකා නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මෙලෙස මිලදී ගැනීම් කිරීම සැක උපදවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. විශේෂයෙන් පොලී ගෙවිය යුතු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දීය ඖෂධ ලබා ගැනීම සහ ඒවායේ දිලීර හමුවීම සංකීරණ ගැටලු මතු කරන බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles