මිනුවන්ගොඩ තරුණයා පෑලියගොඩ පොලිසියේදී අබිරහස් ලෙස මරුට

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදි අසාධ්‍ය වී රෝහලගත කරන විට මිය ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ හොරම්පැල්ල,වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විහඟ ප්‍රමුදිත පතිරණ නැමැති මෙම තරුණයා ඉකුත් අප්‍රේල් 22 වෙනිදා සවස 3.30ට පමණ කාර්මික දෝෂයට ලක් වූ තම යතුරුපැදිය සාදා ගැනීම සඳහා සුපුන් නැමැති යතුරුපැදි කාර්මික ශිල්පියෙකු කැටුව ඒමට නිවසින් පිටත්ව ගොස් තිබුණා.

නමුත් පසුදින අලුයම වනතෙක් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ පියා මිනුවන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.‍

නමුත් මිනුවන්ගොඩ පොලිසියෙන් සඳහන් කර ඇත්තේ අදාළ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවත් ඔහු සමඟ සිටි සුපුන් නැමැත්තා පිළිබඳව පෑලියගොඩ පොලිසියෙන් විස්තර එවා ඇති බවත්ය.

ඒ අනුව ඔහු පසුදින රාත්‍රියේ පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසයට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත් , එම අවස්ථාවේදි සිය පුත්‍රයා කැගසන හඬ දුරකතනයෙන් ඇසුණු බවත් මියගිය තරුණයාගේ පියා පවසනවා. නමුත් දුරකතනයෙන් කතාකළ නිලධාරියා විසින් පවසා ඇත්තේ විහඟ නැමැත්තෙක් අත්අඩංගුවේ නොමැති බවයි.

පසුව තරුණයාගේ වැඩිමල් සහෝදරයා නීතීඥවරයෙකුද සමඟ අප්‍රේල් 24 වෙනිදා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ගොස් ඔහු පොලිස් නිලධාරීන් භාරයේ සිටින බව තහවුරු කරගෙන තිබෙනවා.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තරුණයාගේ සහෝදරයා විමසා සිටි අවස්ථාවේදි පෑලියගොඩ පොලිසිය විසින් සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යතුරුපැදි කාර්මික ශිල්පියෙක් වන සුපුන් නැමැති පුද්ගලයාවත් ඔහු සමඟ සිටි මියගිය තරුණයා වන විහඟ ප්‍රමුදිතවත් අත්අඩංගුවට ගත් බවය.

නැවත අප්‍රේල් 25 වෙනිදා ඔවුන් නැවත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබුණේ අදාළ තරුණයාව අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට විමර්ශන නිලධාරියෙකු කළ දැනුම් දීමකට අනුවය.

නමුත් ඒ් වන විටත් පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව සිටි තරුණයාව අධිකරණය වෙත රැගෙන යාමට පියවර ගත්තත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

නමුත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිට ඇති බවය.

එමෙන්ම තරුණයාගේ මරණයෙන් පසු මිනුවන්ගොඩ උසාවියට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ කරුණු අසත්‍ය බවත් තම පුත්‍රයාගේ මරණය සැක සහිත බවත් තරුණයාගේ පියා චෝදනා කරනවා.

ඔවුන් චෝදනා කරන්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විමමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හමුවේ අදාළ තරුණයා ජීවිතක්ෂයට පත් වූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා ඉදිරියේදි කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles