සාරා වනිගසිංහ ලියයි.
1988 සැප්තැම්බර් 20 වෙනිදා උදෑසන 19 හැවිරිදි ටාරා කැලිකෝ නිව් මෙක්සිකෝවේ වැලෙන්සියා ප්‍රාන්තයේ සිය නිවසින් පිටත්ව ගියේ ඇගේ දෛනික බයිසිකල් සවාරිය සඳහා ය. තවමත් හේමන්ත සෘතුවේ මැද භාගය නිසා බොහෝ වැසියන් ඇවිදීම, බයිසිකල් සවාරි නවත්වා තිබුනේ නැත. නිව් මෙක්සිකෝ ප්‍රාන්ත – 47 වීදිය ඇගේ දිනපතා ගමන් මග වූ අතර බොහෝවිට ටාරාගේ මව, පැට් ඩොයෙල් ද බයිසිකල් පැදීමට හවුල් විය.
පසුගිය දින කීපයකදීම මෝටර් රථයක් ඔවුන් අසලින් ආක්‍රමණශීලී ලෙස ධාවනය වීම සහ කිහිප වරක්ම ඔවුන් පසුපස ඒම පැට් ඩොයෙල් ව චකිතයට පත් කළ නිසා බයිසිකල් පැදීමේ උනන්දුව ඇගෙන් ගිලිහී ගොස් තිබිණ. නමුත් ටාරා සුපුරුදු ලෙස එදිනත් බයිසිකල් පැදීමට ගිය අතර, ප්‍රදේශයේ අනෙක් කෙල්ලන්ගේ සුලභම ස්වයං ආරක්ෂක උපකරණය වන ගම්මිරිස් ස්ප්‍රේ එක රැගෙන යාම පවා ඇය නොසලකා සිටියාය.
දොරෙන් පිටතට යන විට, ටාරා විහිළුවට මෙන් මවට පැවසුවේ සවස් වන විටත් ඇය නොපැමිණියේ නම් ඇයව සොයා එන ලෙසටයි. ඊට අමතරව පෙම්වතා සමඟ 12:30 ට ටෙනිස් තරඟයක් ද සැලසුම් කල බව ඇය මවට පවසා තිබිණ. නමුත් දිනපතාම තවත් සවස් පැමිණ ගෙවී ගියද නැවත ටාරා නිවසට පැමිණියේ නැත. එය තවත් එක් අභිරහසක ආරම්භය විය.
ටාරා අතුරුදන් වූ සවස් වරුවේ පැට් ඩොයෙල් ඔවුන්ගේ සුපුරුදු බයිසිකල් ගමන්මගේ තම දියණියගේ කිසියම් හෝ සලකුණක් සොයමින් ගමන් කළාය. ඇය සොයා ගැනීමට නොහැකි වූ විට, පැට් ප්‍රාන්ත පොලිසිය අමතා උපකාර ඉල්ලා සිටියාය. නිව් මෙක්සිකෝ ප්‍රාන්ත පොලිසියේ සෝදිසි කණ්ඩායම ටාරා කැලිකෝ හෝ ඇගේ බයිසිකලය පිළිබඳ කිසිඳු තොරතුරක් සොයා ගැනීමට අසමත් වූ අතර, ප්‍රශ්න කළ පුද්ගලයන් කිසිවෙක් පවා අනතුරක හෝ පැහැර ගැනීමක සේයාවක් එම ප්‍රදේශයේදී දැක නැත. කිහිප දෙනෙකුට ටාරා පාර දිගේ යනු දුටු බව සිහිපත් වූ අතර, තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට පාපැදිකරු ආසන්නයේ ගමන් කළ ලා පැහැති පිකප් ට්‍රක් රථයක් සිහිපත් විය.
ටාරා සතුව තිබූ වෝක්මන් කැබලි සහ කැසට් පටයක් වෙනත් වීදියක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලද අතර, පසුව පැට් ඩොයෙල් විසින් එය හඳුනාගනු ලැබිණි. ටාරා කැලිකෝ සුපුරුදු මාර්ගය අත්හැර ඇති බවත්, එම උත්සාහය අතරතුර ඇය සතු වෝක්මානය හා ඒ තුළ තිබූ කැසට් පටය වැටෙන්නට ඇති බවත් පොලීසිය උපකල්පනය කරන ලදී. නමුත් ටාරා සහ ඇගේ රෝස පැහැති බයිසිකලය හමු නොවීය.
වැඩිදුර පරීක්ෂණ අතරතුර ටාරාගේ එදිනෙදා ජීවිතය ගැන පොලිසිය පැට් සහ ඇගේ දෙවන විවාහයේ සැමියා ජෝන් ඩොයෙල්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. ඔවුන්ගේ දියණිය සතුටින් සිටියාද? ඇය සංචාර ගැන, නිවසින් පිටවී ජීවත්වීම ගැන ඔවුන් සමඟ කතා කර තිබේද? ටාරාගේ මිතුරන් හා ඔවුන් අතර ආශ්‍රයේ පසුබිම පිළිබඳව පවා පොලිස් පරීක්ෂණ සිදුවිණි. මේ සියල්ලක් අවසානයේ 19 හැවිරිදි ටාරා කැලිකෝ නිවසින් පලා ගොස් ඇති බවට ඔවුන් සැක කළහ.
නමුත් කවදා හෝ ටාරා පැමිණෙන හවස් යාමයක් ගැන පැට් සහ ජෝන් බලා සිටීම නැවැත්වූයේ නැත. එහෙත් වැඩිදුර සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවී ටාරා කැලිකෝ යනු එක් අතුරුදහන් වීමක් පමණක් බවට පත්විය . මාස අටක් ගතවන තුරුම පැට් ඩොයෙල් සහ ඇගේ සැමියා ජෝන් ඩොයෙල්ට ටාරා ගැන කිසිඳු තොරතුරක් නොලැබුණි.
ඉන්පසුව, 1989 ජූනි 15 වන දින, ටාරා කැලිකෝ අතුරුදහන් වී මාස නවයකට ආසන්න කාලයකට පසු, ටාරා අතුරුදහන් වූ නිව් මෙක්සිකෝ 47 සිට සැතපුම් 1,500 ක් පමණ දුරින් ෆ්ලොරිඩාවේ පෝට් සෙන්ට් ජෝ හි ගමන් නැවතුම්පොළක තිබී අභිරහස් පෝලරොයිඩ් සේයාරුවක් සොයා ගන්නා ලදී. ඡායාරූපයෙන් දැක්වුනේ තරුණ ගැහැණු ළමයෙකු සහ කුඩා පිරිමි ළමයෙකු ඇඳක් වැනි කිසිවක් මත වැතිරී සිටින ආකාරයයි. එහි දැක්වුන ආකාරයට ඔවුන් දෙදෙනාම අත් බැඳදමා, කළුපැහැති පටිවලින් මුව වසා දමා තිබිණි.
පින්තූරය සොයාගත් කාන්තාව වහාම එය ප්‍රාන්ත පොලිසියට දැනුම් දුන් අතරම, චායාරූපය වැටී තිබූ ස්ථානයේ සුදු පැහැති ටොයෝටා වෑන් රථයක් නවතා තිබූ බවත්, එහි රියදුරු අවුරුදු තිහකට ආසන්න පෙනුමක් ඇති උඩුරැවුල වැවූ පිරිමියෙකු බවත් පවසා ඇත. නමුත් එම වෑන් රථය හෝ එහි රියදුරු සොයා ගැනීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක විය.
මෙම Polaroid සේයාරුව ‘Americas Most Wanted’ නම් රූපවාහිනී වැඩසටහනක පළකරන ලදී. වැඩසටහන නැරඹූ පවුලේ මිතුරෙක් පැට් ඩොයෙල් ව ඇමතුවේ එම පොලරොයිඩ් පටයේ සිටින ගැහැණු ළමයා ටාරා දැයි විමසමිනි. පැට් ඩොයෙල් එකවරම ඡායාරූපය දුටු විට, ඒ තම දියණියම දැයි හඳුනා නොගත් නමුත් වැඩි වේලාවක් පරීක්ෂා කිරීමන් පසුව ඒ ටාරා කැලිකෝ බව විශ්වාස කළාය. ටාරා කුඩා කළ සිදුවූ අනතුරකින් ඇතිවුනු කැළලක් ආකාරයේම දුර්වර්ණ වීමක් චායාරූපයේ සිටින ගැහැණු ළමයාගේද ඇති බව පැට් ඩොයෙල් හඳුනා ගත් අතර ඇය පසෙකින් තබා ඇති පොත ටාරාගේ ප්‍රියතම කතුවරයෙකුගේ පොතක් බවද පවසා තිබිණ. සැප්තැම්බර් මස උදෑසනක නිවසින් පිටවී අතුරුදන් වූ – ඇතැම්විට මිය යන්නට පවා ඇතැයි සිතූ තම දියණිය, දැන් තරමක් වයසින් වැඩී පෝලරොයිඩ් සේයාරුවක සිට නැවත නැවතත් තමා දෙස බලද්දී – ඇය හමුවන දිනක් උදෙසා මවක ලෙස පැට් ඩොයෙල් කොතරම් නොඉවසිල්ලෙන් පසුවන්නට ඇතිද..නමුත් පැට් තුළ තිබූ තරම් විශ්වාසයක් වත් නොඉවසිල්ලක් වත් බලධාරීන්ට තිබුනේ නැත. ඔවුන්ගේ වරදක්ම නොව සාක්ෂි හිඟ වීම එයට ප්‍රධානතම හේතුව විය. ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයේ ප්‍රවීණයන් ඒ ටාරා කැලිකෝම විය හැකි බව සැක කළ හ. සියලු පාර්ශ්වයන් එකඟ වූ කරුණක් වූයේ එම ඡායාරූපය මෑතකදී ගන්නා ලද එකක් බවයි. පොලරොයිඩ් සේයාරුව මුද්‍රණය කල කඩදාසි වර්ගය එම වසරේ මැයි මාසයෙන් පසුව , එනම් ටාරා අතුරුදහන් වීමෙන් මාස හයකට පසුව වෙළඳපොලට මුදාහරින ලද එකක් බව කඩදාසි නිපදවූ සමාගම විසින් සහතික කරන ලදී.
පොලරොයිඩයේ සිටින කුඩා පිරිමි දරුවාගේ පවුලේ අය විසින් ඔහුව හඳුනා ගැනීමත් සමඟ පරීක්ෂණ තවත් සංකීර්ණ විය. නව හැවිරිදි මයිකල් හෙන්ලි 1988 අප්‍රේල් මාසයේදී සිය පියා සමඟ දඩයම් චාරිකාවක යෙදී සිටියදී නිව් මෙක්සිකෝවේදී අතුරුදහන් වී ඇති අතර, පසුගිය කාලය පුරාවට ටාරාගේත්, මයිකල්ගේත් පවුල් දෙකම තම දරුවන් පිළිබඳව තොරතුරක් නොඉවසිල්ලෙන් බලා සිටියහ. නමුත් අවසානයේ පිළිතුරු ලැබුණේ එක් පවුලකට පමණි. 1990 දී, මයිකල් හෙන්ලිගේ දේහය ඔහු අතුරුදහන් වූ කඳවුරේ සිට සැතපුම් හතක් දුරින් නිව් මෙක්සිකෝවේ සූනි කඳුකරයෙන් සොයා ගන්නා ලදී. වඩාත් අත්භූත සිදුවීම වන්නේ එම පොලරොයිඩ් පට මුද්‍රණය කළ කඩදාසි නිපදවීමට පෙර මයිකල් හෙන්ලි මියගොස් තිබී ඇති බව පරීක්ෂණ මඟින් සොයාගැනීමයි.
ටාරා වෙනුවෙන් දශකයකටත් වඩා බලාසිටීමෙන් අනතුරුව 2003 දී, පැටට් ඩොයෙල් හා ජෝන් ඩොයෙල් නිව්මෙක්සිකෝවේ සිට සැතපුම් 2000ක් පමණ දුරකින් පිහිටි ෆ්ලොරිඩාවේ පදිංචියට යාමට තීරණය කළහ. ඔවුන් වසර ගණනාවක් තිස්සේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තය අතහැර යාමට උත්සාහ කළත් දියණියගේ අතුරුදහන් වීමේ විමර්ශන නිසාත්, කවදා හෝ ටාරා නිවසට පැමිනේ යයි බලාපොරොත්තුව නිසාත් එය කිරීමට ඔවුන්ට නොහැකි වූ බවද ඔවුන් පවසා තිබිණ. පැට් ඩොයෙල් නිව් මෙක්සිකෝවේ ඔවුන්ගේ නිවස ගැන පැවසා තිබුනේ , “ටාරා ගැන මට මතක් කර නොදෙන කිසිවක් ඒ නිවසේදී මට කළ නොහැක ” ලෙසය.
නිව් මෙක්සිකෝවේ වැලෙන්සියා ප්‍රාන්තයේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ රිවේරා, ටාරා කැලිකෝට සිදුවූයේ කුමක්ද සහ එය කළේ කවුදැයි තමා දන්නා බව 2008 දී ප්‍රකාශ කළ නිසා පරීක්ෂණ නැවතත් ඇරඹිණ. නමුත් ඔහු සැකකරුවන්ගේ නම් සඳහන් නොකළ අතර ඔවුන් දෙදෙනා ටාරා අතුරුදහන් වන අවස්ථාවේ නව යොවුන් වියේ සිටි දෙදෙනෙකු වූ අතර ඔවුන් ටාරා කැලිකෝගේ බයිසිකලය හඹායමින් සිටින්නට ඇති බවත් රිවේරා පවසා සිටියේය. එහිදී අනතුරකින් ටාරා කැලිකෝ මිය යන්නට ඇති අතර, භීතියට පත් ඔවුහු ඇගේ සිරුර සඟවා දමන්නට ඇති බවත්, නමුත් සිරුරු කොටස් සොයාගැනීමෙන් තොරව ඔවුන් අත්අඩංගුවට ගත නොහැකි බවද රිවේරා පවසා සිටියේය. නමුත් මෙම ප්‍රකාශයන් මතභේදාත්මක වීමෙන් හා සාක්ෂි නොමැති වීමෙන් වැඩිදුර පරීක්ෂණ කිසිවක් සිදු නොවින. ඉන්පසද ටාරා කැලිකෝගේ විය හැකි තවත් ඡායාරූප දෙකක් වසර කිහිපයක් ඇතුළත විවිධ ප්‍රදේශ වලින් හමු විය. එකක් කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝ හි නේවාසික ඉදිකිරීම් භූමියක් අසලින් සොයාගත් ගැහැණු ළමයෙකුගේ මුඛය ආවරණය කරන ලද පටියක් සහිත අපැහැදිලි ඡායාරූපයකි. අධිකරණ වෛද්‍ය සාක්ෂි අනුව එයද 1989 මැයි මාසයෙන් පසුව ගන්නා ලද්දකි. දෙවැන්න 1990 පෙබරවාරි මාසයේදී හමු වූ අතර එහි දැක්වූයේ ඇමරිකානු නගරාන්තර දුම්රියක පිරිමියෙකු අසල හිඳගෙන දෑස් වසා, අත් ලිහිල්ව බැඳ සිටි කාන්තාවකි. එහෙත් කිසිම රූපයක ප්‍රතිඵලදායක නොවීය. පැට් ඩොයෙල් මොන්ටෙසිටෝදී සොයාගත් සේයාරුවේ ඉන්නේ ටාරා බව විශ්වාස කළත්, ඇය දුම්රියේ සිටි දැරිය තම දියණිය බව විශ්වාස කළේ නැත.
අද ටාරා කැලිකෝ අතුරුදහන් වී වසර තිහකට වැඩි කාලයක් ගත වී ඇත. ටාරා වෙනුවෙන් බලාසිටීමෙන් ම වෙහෙසට පත් ඇගේ ආදරණීයයන් සිදුවූයේ කුමක්දැයි පවා නොදැනම තම අවසන් හුස්මද දියකර හරින්නට ඇත. ටාරාගේ ජීව විද්‍යාත්මක පියා 2002 වසරේ මියගිය අතර, ටාරා වෙනුවෙන් නිව් මෙක්සිකෝවේ නිවස පවා හැර නොගොස් බලාසිටි මව පැට් ඩොයෙල් ෆ්ලොරිඩාවේ පදිංචියට ගොස් වසර තුනකට පසු එනම් 2006 වසරේදී තම අවසන් හුස්ම හෙලා ඇත. ටාරා වෙනුවෙන් යුක්තිය ඉල්ලූ පැට්ගේ සැමියා ජෝන් ඩොයෙල්ද 2022 වසරේදී මියගොස් ඇත. කිසිම දිනයක නැවත නොදකින්නට වැඩි ඉඩක් ඇති නමුත් තමා මහත්සේ ආදරය කළ සමීපතමයන් ගැන මිනිසාට ඇති ඇල්ම කිසිඳු සාක්ෂියක් හෝ තීන්දුවක් මඟින් අඩුකළ නොහැකිය. ඇතැම්විට මිය යන තෙක්ම ඔවුන් සෑම හවසක්ම දෑස් දල්වා ටාරාගේ රුව ආලින්දයෙන් එබෙතැයි බලා සිටින්නට ඇත.