67 මහලෙන් පැන මිය ගිය නවයොවුන් දෙදෙනා ගැන තවත් තොරතුරු

කොළඹ 2 අල්ටෙයා ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් බිමට පැන මිය ගිය බවට සැක කෙරෙන 15 හැවිරිදි දරුවා සහ දැරිය ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක එකම පන්තියක ඉගෙනුම ලැබූ මේ දෙදෙනා අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ එහි මිතුරියකගේ නිවසේ සාදයකට සහභාගි වීමට යන බව ආරක්ෂක අංශය නොමග යවමින් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙසේ මිය ගොස් ඇත්තේ, වැල්ලවත්ත හාමස් ඇවනිව් පදිංචිව සිටි ඩිවෝන් ශූරෝ ෂින් නම් සිසුවා සහ කැළණිය සපරමාදු පෙදෙසේ පදිංචිව සිටි රෝස් මිරායිද සේරම් නමැති සිසුවියයි.

මිය ගිය සිසුවාගේ පියා ඉන්දියානු ජාතිකයෙකු බවද, සිසුවියගේ පියා නීතිඥවරයෙක් සහ මව ගණකාධිකාරිවරියක් බවද හෙළිව තිබෙනවා.

මෙසේ මේ දෙදෙනා ගොඩනැගිල්ලට ඇතුළු වී කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් ඇඳුම් මාරුකරගෙන ඇති අතර පසුව කිසියම් පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ ඔහු වෙත දුම්වැටි පාර්සලයක් ලබා දෙන බවයි සීසීටීවී දර්ශන අනුව අනාවරණය වී ඇත්තේ. ඒ සමඟ මත්ද්‍රව්‍ය තිබුණේදැයි පොලිසිය විමර්ශන කරනවා.

පසුව 67 වන මහලේ ( පිටස්තරයන් සඳහා ප්‍රවේශ ඇත්තේ මෙම මහළට පමණක් බව සඳහන්.) හදිසි පිටවීමේ දොරටුව විවෘත කර එහි තිබෙන අඩි 4ක පමණ තාප්පයක ඔවුන් වාඩි ගෙන තිබෙනවා. ඔවුන් පැන්නේ හෝ වැටුණේ එතැනින් බවයි කියැවෙන්නේ.

පාවහන් ගලවා තබා ඒ වෙත පිවිසි තිබූ දෙදෙනා ඇද වැටුණු පසු වායු සමීකරණ ගබඩා කර ඇති කොටසට වැටී තිබෙනවා. නිකුත් වූ අධික ශබ්දය අනුව සේවකයන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිසුවාගේ පාදයක් සිරුරෙන් ගැලවී තිබූ බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තවම අනාවරණය වී නැති අතර ඔවුන් අදාළ ගොඩ නැගිල්ල වෙත යන බව දෙමව්පියන් දැන සිට තිබෙනවා. 100ක් පමණ සහභාගි වන සාදයක් ඇති බවයි ඔවුන් නිවසට පවසා ඇත්තේ.

මෙය සියදිවි හානිකරගැනීමක් නොවේ යන සැකයකටත් විමර්ශකයන් එළැඹ ඇත්තේ, සීසීටීවී කැමරා දර්ශන අනුව ඔවුන්ගේ හැසිරීමෙන් එවැනි තත්වයක් පෙන්නුම් නොකරන බැවිනුයි. අනෙක් අතට සියදිවි නසාගන්නේ නම් ඇඳුම් මාරු කරගැනීමේ අවශ්‍යතාවක් නැති බව විමර්ශකයන්ගේ අදහස වී ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles