නාමල් රාජපක්ෂ යනු බල දේශපාලනයේ රන් හැන්ද කටේ ගසාගෙන ඉපදුණු අයෙකු බව කීවොත් බොරුවක් නොවේ. මහින්ද රාජපක්ෂ තම දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් පාරක් ගාණේ දෙපයින් ඇවිද සටන් කළ ද නාමල්ට දේශපාලන හයිය ලැබුණේ පරම්පරාවෙනුයි. නාමල් රාජපක්ෂ දේශපාලන වශයෙන් දැඩි මේනි වූවා නම් වූයේ 2015 යහපාලනයෙන් බලය අහිමි වූ නිසා සුවපහසුව අහිමි වීම මතින් මිස අනෙකකින් නොවේ. 2015 පෙර කාර් රේස් පැදපු නාමල්ලා දැන් දේශපාලන පක්ෂවල බර බද්දල් කරගහගෙන යන තැනට සංවර්ධනය වීමේ ගෞරවයත් ඒ අනුව යා යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යි.
කෙසේ වෙතත්, පළමු සැරේ බිංදුව නොවැටුණු නාමල්ට දැන් බිංදුව වැටෙමින් ඇති බව ආරංචි පළ වෙයි.
දේශපාලන වෙල මැද්දේ දැන් නාමල් සිටින්නේ තනිව බවයි ආරංචිමාර්ග කියන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් කටයුතු කරන්නේ හිතේ හයියෙන් පමණක් බව කාට වුව තේරෙන දෙයකි. බැසිල් ආගිය අතක් නැත. කොටින්ම කියන්නේ නම් රාජපක්ෂ පවුල පරාජයන් අස්සේ විසිරී ගොසිනි. වටේ සිටි එහෙයියෝ කවදත් ගසේ සරු පලදාව නැත්නම් දෙවරක් නොසිතා හැර යන බැවිනි.
රාජපක්ෂ පවුලට ඕනෑම අකුණු වෙලාවක එළියට දාන්න හිටි යකඩය – සනත් නිශාන්ත මරුමුවට පත් වීම නාමල්ට දැවැන්ත පාඩුවක් වූයේ ය. චානකලා වැනි අය නාමල්ගේ පහනින් එළිය බලනවා විනා නාමල්ට එළිය දෙන්නට හැකියාවක් ඇති අය නොවේ. කාංචන වැනි අය තමන්ගේ ගමන හදාගෙන අවසන් වී තිබේ. රෝහිත අබේගුණවර්ධනද ගණන් මිනුම් බලා නාමල්ලාගෙන් සමුගෙන බව දැනගන්නට ඇත. බලයෙන් මත්ව සිටි සමයේ සිය පිලේ බලගතු දේශපාලකයන් තඹේකට මායිම් නොකළ බැවින් ඔවුන්ගේ පිහිටක්ද නාමල් රාජපක්ෂට ඇත්තේ නැත. ජෝන් සෙනෙවිරත්නලා වැන්නෝ උදාහරණ යි.
මේ වෙද්දි දැනගැනීමට ඇති පරිදි නාමල්ට සිටින්නේ තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා පමණකි. තිස්සකුට්ටි යනු ද කටකමසරියාවක් නැතුව කියවීම විනා බරසාර දේශපාලන විඥානයක් ඇති අයෙක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
නාමල් රාජපක්ෂ මෙරට කාලයක් ඔටුන්න හිමි කුමාරයා ය. ඔහුට සත්‍යයට අභිමුඛ වෙන්නට සිදුවන සමය එළැඹෙනු ඇත්තේ ඉදිරියට ය.
- සඳුන් ප්‍රියංකර විතානගේ