TMVP නායක, රාජ්‍ය අමාත්‍ය, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කරමින් චැනල් -4 වාර්තා චිත්‍රපටය හරහා එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අදාළ වාර්තා චිත්‍රපටයේ පෙනී සිටිමින් TMVP හි හිටපු ප්‍රකාශක අසාද් මවුලානා කියා සිටියේ ප්‍රහාර එල්ල කරමින් මියගිය ජාතික තව්හීද් ජමාත් (NTJ) නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නොහොත් සහරාන් හෂීම් සහ එවකට හමුදා බුද්ධි නිලධාරියා වූ සුරේෂ් සලේ අතර හමුවක් තමන් සූදානම් කළ බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයක් ලෙස ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වන විට සම්බන්ධ වී සිටින බැවින් ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ දැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගෙන් මාධ්‍ය විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් කාරියවසම් කියා සිටින්නේ අදාළ වාර්තා චිත්‍රපටයේ අඩංගු චෝදනා පදනම් විරහිත බැවින් එවැනි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බවයි.
ඔහු තමන් සමග සන්ධානගතව සිටියද වෙනම දේශපාලන පක්ෂයක් බැවින් තමන්ට ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගත නොහැකි බවත්, මවුලානා නමැත්තා පිල්ලෙයාන් සමග සිට ඇත්තේ බොහෝ කලකට පෙර බවත් ඔහු සරණාගත භාවය අපේක්ෂාවෙන් මෙයට සම්බන්ධ වී ඇති බව පැහැදිලිව පෙනෙන බැවින් කිසිම ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බවයි ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.