අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන හතරවන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නොතීසි ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර තිබෙනවා.
පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි බවයි සඳහන් වන්නේ.
වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙසත් නියෝග කර ඇති අතර පෙත්සම්කාර ‘හරක් කටා’ අධිකරණයට දැනුම් දී ඇත්තේ කිසිදු නව විමර්ශනයකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව දිගින් දිගටම රඳවා ගැනීම නීතිවිරෝධී බවයි.
පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් මේ සඳහා තීන්දුවක් ලබා දී අදාළ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.