‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු වන සම්පත් සඳරුවන්ට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම් දෙනතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම ‘ඔන්මැක්ස් ඩීටී’සමාගම නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරනු ලැබු සංවිධානයක් වන අතර මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්රාර්වරුන්ටයි.
මෙම දේපළ පිරමීඩ ජාවාරමෙන් උපයාගත් ඒවා බවත් එම නිසා එම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ද වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.
ඒසේම ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අය මෙම ඉඩම් 20 ම සිය බිරිඳ සහ ඥාතීන් වෙත එකම දිනයකදී පැවරීම සිදුකර සිය වංචාව සැඟවීමට උත්සාහ දරා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 10ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.