අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ එම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.
එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කරනු ලැබුවා.
ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වූ බව සඳහන්.
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.
පෙත්සම්කරු කියා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.
එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට සුදුසු දඬුවම් පමුණුවන ලෙසයි මෙම පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ.