No menu items!
No menu items!

පෙන්ෂන් එස්.අයි. නෝනාගේ දුව පොලිසියට ගුටි දීලා

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් ත්‍රිරෝද රථයේ ගැටීමට ගොස් තිබෙනවා. එය පැදවූ කාන්තාව අධික වේගයෙන් පැමිණ ඇති බවත්, ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වීමට ගිය බවත් ගන්දර පොලිසිය සඳහන් කරනවා.

මේ පිළිබඳ පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය බවත්, ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරිනියක මෙන්ම නීතිඥවරියක බවත් පවසා මෝටර් රථයේ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කාන්තාව ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තා පොලිස් සැරයන්වරියගේ පපු ප්‍රදේශයට වැළමිටෙන් පහරදී ඇති අතර, ඇය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් සඳහන් වෙනවා.

පොලිස් නිලධාරිනියට පහරදීමේ චෝදනාව මත 31 හැවිරිදි මෙම කාන්තාව ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඇය ගැන කරන ලද වැඩිදුර විමර්ශන වලදි ඇයගේ මව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක නොව විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියක බව අනාවරණය වී ඇති බවත් සැකකාරිය අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles