ජනතාවගෙන් ඇමැතිට හූ සංග්‍රහයක්!

මැදිරිගිරිය නගරයේ ඇති දැනටමත් භාවිතා වන මාර්ග දෙකක නාම පුවරු වෙනස් කිරීමෙන් අනතුරුව ඒවා විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රමට ප්‍රබල ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා. ජනතා හූ හඬ මැද ඔවුන් එම ස්ථානයෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

ගෝඨාගෝගමට පහර දුන් දා නිට්ටඹුවේ දී ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නමින් මැදිරිගිරිය නගරයට සම්බන්ධ වන මාවත් දෙකක් නම් කිරීමට ප්‍රාදේශීය සභා අනුමැතිය හිමිව තිබුණා. ඇමැතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන් සමඟ ඒවා නැවත විවෘත කිරීමට ගොස් තිබෙනවා.

ජනතාව වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන පාරවල් නැවත විවෘත කරන්නේ කුමකටදැයි ජනතාව ප්‍රශ්න කර තිබෙනවා. එසේ ම මෙතරම් ජනතාවට ප්‍රශ්න තිබිය දී ඇමැතිවරු මෙවැනි ක්‍රියාවල නිරත වීම විසුළුසහගත බවයි ජනතාව පවසා තිබෙන්නේ.

වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාශයේ වැලිකන්ද මහවැව බටහිර නව පාලම “අමරකීර්ති අතුකෝරල” නමින් නම් කිරීමද පසුගිය දා සිදු කර තිබුණා.

කෙසේ වෙතත් පක්ෂ භේදයකින් තොරව පොදුවේ ජනතාව එක්වී ඇමැතිවරයා ඇතුළු පිරිසට විරෝධය දැක්වූ බවයි දැනගැනීමට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles