2008 සිට 2009 දක්වා කාලය තුළ නාවික හමුදාව තුළ ක්‍රියාත්මක වූ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරදන් කළ බව කියන තරුණයන් 11 දෙනෙකුගේ වින්දිතයන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපොහොසත් වීම අවධාරණය කරමින් එම පවුල් 21 වැනිදා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සහ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල කිහිපයකට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම පෙත්සම මගින් ඉල්ලා සිටියේ, උසාවි කටයුතුවලට සහභාගී වීමෙන්, රජයේ නිලධාරීන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ වෙනත් ඕනෑම මාර්ගයකින් ජාත්‍යන්තර ප්‍රජාව සක්‍රීයව මෙම නඩුවේ උනන්දුව නිරීක්ෂණය කරමින් සිටින බව රජයට පෙන්වා දෙන ලෙසයි.
එම පවුල්වලට උසාවි දිනවලට පැමිණීමට සහ ඔවුන්ගේ නීතිමය වියදම් පියවා ගැනීමට ප්‍රවාහන පහසුකම් සැලසීමට සහය දෙන ලෙසද ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.
වින්දිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිය හැක්කේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට පමණක් බවත්, ඔවුන් වයස්ගත සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් එම පවුල් එකමුතුව සඳහන් කරනවා. මෙම නඩුව වසර 15 කට ආසන්න කාලයක් පවතින බවයි එහිදී සඳහන් වූයේ. මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබුවා.
මෙම නඩුවේ දී එවක නාවික හමුදාපති අද්මිරාල් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළුව නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි , නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කොමදෝරු දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක , විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී, මාස්ටර් ප්‍රධාන සුළු නිලධාරි මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ, යන 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.
කෙසේ වෙතත් 2021 වසරේ දී අද්මිරාල් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කර ගැනුණා.