බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දී භාවිතයට ගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.
බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් පමණක් මේ වනවිට පොලිස් ස්ථානවලත් මෙන්ම සැපයුම් කොට්ඨාස වලත් ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කරනවා.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවල දී ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා බැලූන් පිම්බීම සිදුකරන අතර එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබයි.
මෙම තත්ත්වය හමුවේ බොහෝ පොලිස් කොට්ඨාසවලත් ඒ ඒ කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථාන වෙතත් ප්‍රමාණවත් බැලූන් නොමැතිවීම මත බීමත් රියැදුරන් අත්අඩංගුවට පත්වීම අඩු වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අනුව බොහෝ පොලිස් ස්ථාන මඟින් අත්අඩංගුවට ගනු ලබන බීමත් රියැදුරන් ළඟම ඇති රෝහලක වෛද්‍යවරයකු හමුවට ගෙන ගොස් බීමත්ව සිටීදැයි පරීක්ෂා කෙරෙන බවත් රෝහල් ආසන්නයේ නොමැති ප්‍රදේශවල බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉතා අඩුවෙන් සිදුවන බවත් වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ ප්‍රධානියකු කියා සිටියේ බීමත් රියැදුරන් පරීක්ෂාවට ලක්කරන බැලූන් එක්ලක්ෂ පනස් දහසක් විදේශයේ සිට ගෙන්වා ගැනීම සඳහා සිදුකළ ටෙන්ඩර් ක්‍රියාවලිය ද අවසන් කර තිබෙන බවයි.
කෙසේ වෙතත් මෙම බැලූන් හිඟය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් උපකරණ දස දහසක් පමණ දිවයින පුරා පොලිස් ස්ථානවල තිබෙන බවත් උපකරණවල සුළු හිගයක් පැවතියත් බීමත් රියැදුරන් කොටුකරගැනීම සඳහා පවතින උපකරණ ප්‍රමාණවත් බවයි.