ආනන්තරීය පාපකර්ම ඇඟේ ගසා ජීවිත විනාශ කරන පොලිසියේ නල්ලමලේ සෙල්ලං

පසුගිය දිනවල රත්නපුර-කහවත්ත ප්‍රදේශය නැවතත් භීතියෙන් ඇළලී යන සිදුවීමක් වාර්තා වුණා. ඒ අවුරුදු 71 වයසැති වයෝවෘද්ධ මවක් ගෙලකපා ඝාතනය කිරීමයි. කොටකෙතන කාන්තා ඝාතන රැල්ල නිසා කලක් භීතියට පත්ව සිටි කහවත්ත පෙදෙස නැවතත් නොසන්සුන් වීමට මෙම හේතුව බලපා තිබුණා. කෙසේ වෙතත් මෙම ඝාතනයට සැක පිට ඇගේ දියණිය අත්අඩංගුවට ගත් අතර ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය තමා කළ එකක් නොවෙන බව ඇය ප්‍රශ්න කිරීමේදී පොලිසියට දැඩිව පවසා තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට පොලිසිය අධිකරණයට වෙනත් සැකකරුවෙකු ඉදිරිපත් කර කියා තිබෙන්නේ දියණිය නිදහස් කරන ලෙසයි.

මිය ගිය කතගේ දියණිය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ, විමර්ශනවලදී කළ අසල්වැසි ප්‍රකාශ, තරුණියගේ ආරක්ෂාව සහ කොටකෙතන ඝාතන රැල්ල මෙන් නොසන්සුන්තාවක් ඇති වීමට ඉඩ තිබීම යන කරුණුයි.

මෙය අධිකරණය විසින් කෙසේ භාරගත්තේ දැ යි වාර්තා නොවෙතත්, මේ තරුණිය එසේ චෝදනා කර අත්අඩංගුවට ගැනීම එතරම් සරල නැති බව ඕනෑම අයෙකුට පෙනී යන්නක්.

මව ඝාතනය කළ බවට දරුවෙකුට කරන චෝදනාව මෙතරම් සරලව කළ හැකි එකක් ද?

බෞද්ධ කියැවීම් අනුව මව-පියා මැරීම අයත්වන්නේ ආනන්තරීය පාපකර්මයක් ලෙසින්. මව මැරූ බවට සැකකර අත්අඩංගුවට ගත් කොටකෙතන දරුවාගේ ජිවිතය මේ වෙද්දී විනාශ වී ගිය බව දන්නේ ටික දෙනෙක්.

සැකයට කවුරුත් නැති වීම, පොලීසියට මහජන විරෝධය එල්ලවීම වැනි කරුණු හේතුවෙන් තවත් අයෙක්ගේ ජීවිතය විනාශ කිරීමට පොලීසියට ඇති අයිතිය කුමක්ද යන්න ප්‍රශ්නයක්.

මේ චෝදනා නිසා නිවැරදි අයෙකුට සිදුවන මානසික හානිය, සමාජ අපවාදය වෙනුවෙන් වගකියන්නේ කවුද? නැවත සමාජයට පැමිණ ජීවත් වෙන විට ඇය කලින් සිටි පරිදි සමාජයේ ජීවත් විය හැකි ද?

අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කළ ප්‍රකාශය අනුව එය ඉතා සරල යමක් ලෙසිනුයි දකින්නට ලැබෙන්නේ. දියණියගේ ආරක්ෂාව වෙනුවෙන් මව මැරූ බවට චෝදනා කර ඇතුළට දැමීම යන කරුණ සෑහෙන විසිළුසහගත ප්‍රකාශයක්. ආරක්ෂාව සැපයීමට අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ නිලධාරියෙකු යෙදවීම නොවේද?

මෑත ඉතිහාසයේ පවා තම ගැලවිජ්ජාව පිණිස මිනිස් ජීවිත සහ ඔවුන්ගේ ආත්ම පොලිසිය විසින් සුනුවිසුණු කළ අවස්ථා ඕනෑ තරම්.

මානව අයිතිවාසිකම් වූ බවට වන නඩු ආදිය වැඩි වැඩියෙන් පැවරී මේ තත්වය වෙනස් කිරීමට සමාජයක් ලෙස උත්සාහ කරන තුරු පොලීසිය මේ නල්ලමලේ සෙල්ලම දිගටම කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles