ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනපතිවරයා ඉන්දියානු සංචාරය අවසන්ව මෙරටට පැමිණි වහාම මැතිවරණයක් පැවැත්වීමට හැකි ද යන්න විමසා තිබෙනවා.
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් සතිඅන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා මේ පිළිබඳව තීරණය ගෙන තිබෙනවා. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට කැඳවා තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එහි දී ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා කොපමණ මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා දැයි කොමිසමෙන් විමසා ඇති ජනාධිපතිවරයා මේ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සූදානම් කර ගැනීමට සිදුවන බවද සඳහන් කර තිබෙනවා.
ඒ කෙසේ වුවද ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට කටයුතු සිදු කරන බවයි දේශපාලන ආරංචි මාර්ග lankaline වෙත සඳහන් කළේ.
ඒ සඳහා ලබන වසරේ අය–වැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට ද සුදානම් කර ඇතැයි දැනගන්නට තිබෙනවා.
එම මුදල් අය–වැය ලේඛනයට ඇතුළත් කර වෙන් කරගත යුතු බවයි ජනාධිපතිවරයා කොමිසමට දන්වා තිබෙන්නේ.
අදාළ ඇස්තමේන්තු සකස් කර හැකි ඉක්මනින් ජනාධිපතිවරයාට ලබා දෙන බව ද මැතිවරණ කොමිසමේ නිලධාරීන් එකඟ වී තිබෙනවා. එය කඩිනමින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලෙසට ද ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ පළමුව ජනපතිවරණයකට මුහුණ දීමට රටට සිදුවනු ඇති.