හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.
ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහු එම සම්පූර්ණ මුදල වාරික 8ක් ලෙස ගෙවා තිබෙනවා.
මේ අතර පසුගිය 16 වෙනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ද ගෙවා අවසන් කර ඇතැයි සඳහන්.
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ද ඔවුන්ට නියමව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර තිබෙනවා.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75 බැගින්ද , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10ක මුදලක් ද වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියම කළා.
කෙසේවෙතත්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන සිය වන්දි මුදල් මෙතෙක් ගෙවා අවසන් කර නොමැති බවයි වාර්තා වන්නේ.