Onmax DT නමින් සමාගමක් පිහිටුවාගෙන පිරමීඩ ආකාරයේ මුදල් වංචා සිදුකළ පිරිස සිය ඕස්ට්‍රේලියානු සමාගම් ලියාපදිංචිය ඉවත් කරගැනීමට Australian Securities and Investments Commission වෙතින් ඉල්ලා තිබෙන බව Lankaline අප පළමුවරට පසුගිය දා හෙළිදරව් කළෙමු. එම ලියාපදිංචිය ඉවත් කර ගැනීමට පෙර පැමිණිලි ඉදිරිපත් නොකළහොත් ඕස්ට්‍රේලියාවේ එම සමාගමේ ලියාපදිංචිය ඉවත් වන අතර ඔවුන්ට එරෙහිව එම රටේ නීතියෙන් කටයුතු කිරීමට අසීරුතා පැන නගින බවද හෙළි කළෙමු.
අප විසින් Australian Securities and Investments Commission වෙත ගෙවීම් කර ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචිය ඉවත් කර ගැනීමට ඉල්ලා තිබෙන Onmax DT සමාගමේ තොරතුරු ලබා ගත් අතර පහත පළ වන්නේ එම තොරතුරු ය. මෙහි විසුළුසහගතම කරුණ නම්, මේ සුවිසල් සමාගමක් යැ යි කියාගන්නා Onmax DT ඕස්ට්‍රේලියානු සමාගම කඩිමුඩියේ සමාගමක් ලෙස ලියාපදිංචිය කර ඇත්තේ 2021 වසරේ වීම ය. එතරම් සාර්ථකත්වයක් ලැබුවා යැ යි කියන සමාගම වසර එකහමාරකින් ලියාපදිංචිය අවසන් කරන්නැයි ඉල්ලීම අනෙක් විහිළුවයි.
අප මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ශ්‍රී ලංකා මහබැංකුව ඇමතුවෙමු. මහබැංකුවේ ප්‍රතිචාරය වූයේ Onmax DT අධිකරණ කටයුත්තක් බැවින් ඒ සම්බන්ධ සියලු කටයුතු මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.
ඒ අනුව Lankaline අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළබඳ විමසීමක් කළ අතර එහි තොරතුරු දැනගැනීමේ නිලධාරියාගේ සම්බන්ධීකාරක අපට දැන්වූයේ අපට අවශ්‍ය තොරතුරු අප විසින් ලිඛිතව ඉල්ලා සිටි (RTI) පසු ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, අගෝස්තු 13 වන විට විරෝධතා ඉදිරිපත් නොවන්නේ නම් Australian Securities and Investments Commission විසින් Onmax DT ඕස්ට්‍රේලියා සමාගමේ ලියාපදිංචිය ඉවත් කරනු ඇති.