2011 වසරේ මාර්තු 30 වැනිදා එවක පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටි සැකකාර ජේ. ශ්‍රී රංගා මැදවච්චිය සිට සෙට්ටිකුලම ප්‍රදේශයට ලියාපදිංචි නොකළ ජීප් රථයකින් ගමන් කරද්දී සෙට්ටිකුලම රෝහල අසලදී රිය අනතුරක් සිදුව තිබෙනවා. එහිදී එම වාහනයේ ගමන් ගත් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් ජී. උදය ජයමිණි පුෂ්පකුමාර යන නිලධාරියා මියගියා. රංගා එහිදී පොලිසියට පවසා තිබුණේ තමා නොව මියගිය සැරයන්වරයා රිය පැදවූ බවයි. සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව නමැති නිලධාරියා සාවද්‍ය තොරතුරු වාර්තා කරමින් රංගා පැදවූ රිය මිය ගිය සාජන්වරයා පැදවූ ලෙසට තොරතුරු වාර්තා කරමින් විමර්ශනය අවසන් කර තිබුණා.
එහෙත් මිය ගිය සැරයන්වරයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැත්වූ විමර්ශනයකින් මෙම රිය අනතුර සැකකාර ජේ. ශ්‍රී රංගා විසින් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ඔහුට විරුද්ධව අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.
පසුගිය 9 වැනිදා උක්ත පොලිස් පරීක්ෂකවරයාට මාස 6ක සිරදඬුවම් නියම කර එය වසර 7ක කාලයකට අත්හිටුවීමටත් අගතියට පත් සැරයන්වරයාගේ බිරිඳට වන්දි ලෙස ලක්ෂ 5ක මුදලක් ගෙවීමටත් තීන්දු කරනු ලැබුවා. ඒ වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් විසින්.
සැකකාර ජේ.ශ්‍රී රංගා නොවැම්බර් 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම නඩුවේ සාක්ෂිකරුවන් වෑන් රථයක නංවාගෙන් ගොස් සාක්ෂි නොදෙන ලෙස බලපෑම් කිරීම, දුරකතනයෙන් බලපෑම් කිරීම හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීම පණත යටතේ ඔහුට විරුද්ධව තවත් නඩුවක් පවරා තිබෙනවා. රංගා යන අය මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කරනු ලැබූ අයෙක්.