රනිල් කියන්නේ මුළු ආසියාවම වුණත් මෙහෙයවන්න ශක්තිය, බුද්ධිය සහ පරිණතභාවයක් තිබෙන උත්තම ගණයේ නායකයෙක් බව රාමඤ්ඤ මහානිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කරකොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්රකාශ කරනවා.
පැපිලියාන සුනේත්රාදේවී රජමහා විහාරස්ථානයේ දී අද (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.
“ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකයන් විසිගණනක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. “
“2022 වසරේ මේ රට ලෑල්ලටම වැටුණා. ඒකෙන් රට ගොඩගන්න එතුමා අගමැති ධුරය බාර අරගෙන රට ගොඩ ගත්තා. එහෙම වැටිලා තිබ්බ රටක් ගොඩගත්තට පස්සේ මටත් පුළුවන්කම තිබුණා මෙහෙම නම් කරන්න කියලා කාටත් කියන්න පුළුවන්.”
“වර්තමාන අපේක්ෂකයෝ බොරු කන්දරාවක් වගුරවමින් ජනාධිපතිතුමාට පහර ගහනවා. පහර ගහන්නෙම ඵල තියෙන රුකටයි. ඵල නැති වෘක්ෂයකට ගල් ගහලා පහර ගහලා වැඩක් නෑ. ඒකෙන්ම පැහැදිලිව පේනවා මේ රට භාරගන්න ඉන්න සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්රමසිංහ බව, ඒ වගේම දැන් වේදිකාවල කතානායකලාට රට දුන්නොත් අනේ මේ රටට දෙවියන්ගෙම පිහිටයි” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.