පොත්පත්-පුස්තකාලවලට ගිනි බදු ගසා හදන්න යන රනිල්ගේ නල්ලමලේ අධ්‍යාපනය!

පසුගිය කාලය පුරාම මෙරට භාණ්ඩ මිල තුන්ගුණයක් හතර ගුණයක් ඉහළ ගිය අතර බුද්ධිමය – අධ්‍යාපන – සංස්කෘතික කලාපයන්ට අයත් භාණ්ඩ සියල්ලේම මිලද එසේ ඉහළ ගිය ලැයිස්තුවට අයත් විය. පෑනක, අභ්‍යාස පොතක, විෂය සමගාමී පොතක මිල අහස උසට නැග ඇත. කඩදාසි මිල කිහිප ගුණයක් වැඩි වී තිබේ. පාසල් උපකරණ මිලද එසේ ම ය. ඡායා පිටපත් කිහිපයක මිල පවා දරන්නට බැරි තරම් ය. මෙරට පොදු මහජනයා මෙය කරබාගෙන ඉවසා කෙසේ හෝ රුහිරු මාංස විකුණා හෝ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේ සන්තර්පණය කරති. ඒ දරුවන්ගේ අධ්‍යාපනය සියල්ලටම වඩා ඉහළින් සිතන නිසාවෙනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතාවෙන් නම් අධ්‍යාපනය වෙත තබා ඇත්තේ ලොකු වැදගත්කමකි. කතා කරන්නට ගිය තැන අධ්‍යාපනය ඔසවන්නට ම වෑයම් කරයි. පසුගිය දිනයකදීත් “විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ අරඹනවා.“ කියමින් ලොකු පම්පෝරියක් දුන් බව අපට මෙවෙලෙහි සිහි වෙයි.

එහෙත් ඇත්ත භාවිතයේදී ජනපතිවරයාත් ඔහුගේ රජයත් අධ්‍යාපනය වෙත දෙන වටිනාකම කුමක්ද? මෙරට බුද්ධිම කලාපය වෙත දෙන දායකත්වය හෝ සහයෝගය කුමක්ද?

අපට අනුව නම් හක්කේ බුදුරැස් විහිදුණාට බොක්කේ ඇත්තේ දඩමස් ය.

ඊයේ (11) සම්මත කරගත් 18% කින් එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් කෙළියේදී ද අධ්‍යාපනයට – බුද්ධිමය කලාපයට – සංස්කෘතියට කෙළා දමා තිබේ.

රටක් ආර්ථික වශයෙන් අර්බුදයට යද්දී සංස්කෘතික, බුද්ධිමය කලාපයන්ට සිදුවන හානිය අනිවාර්ය දෙයකි. ඇති පදම් බදු හොරු දැල්වලින් බේරී සිටියද බදු නොගෙවා සිටිය ද මෙම කලාපයන්ට සහනයක් දෙන්නට සිහිනයෙන් හෝ පාලකයන්ට සිතෙන්නේ නැත.

ඊයේ සම්මත කර ගත් නව බදු පණත සලකා බලමු.

දේශීය ධාන්‍යවලින් නිෂ්පාදනය වන ආහාරවලටද බද්ද ඇතුළත් ව තිබේ. උදේට ‘පෝෂ‘ ගුලියකින් සෑහෙන දරුවන්ගේ බඩට එතැනදීම ගසන්නට තරම් ආණ්ඩුව ලැජ්ජා නැති වී තිබේ.

ඊළඟට ඒ බදු ලැයිස්තුවේ ජංගම දුරකතන, පොත් සහ සඟරා, පුවත් ප්‍රකාශන, පුවත්පත්, පරිගණක සහ පරිගණක අමතර කොටස්, දේශීය මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, ටවර් හෝල් පදනමේ සේවා, සංස්කෘතික අමාත්‍යංශයේ සේවා, මහජන පුස්තකාල සේවා, සියලුම සිනමාපට-බෙදා හැරීම සහ ප්‍රදර්ශනය, සිනමාපට නිපදවීම, සිනමාකර්මාන්තයට අදාල උපාංග ආදී වශයෙන් විශාල ප්‍රමාණයකි.

අධ්‍යාපන උපකරණ, කඩදාසි, දරුවන්ගේ පෝෂණය, සංස්කෘතික කලාපයට සහ බුද්ධිමය කලාපයට අයත් දේ සම්බන්ධයෙන් බදු නිදහස් කිරීමක් කළ නොහැක්කේ මන්ද? රුපියල් කෝටි දහස් ගණන් බදු හොරුන් විසින් නොගෙවා කට්ටි පනිමින් සිටිය දී, අධ්‍යාපනයටද බදු පටවන්නේ කුමක් නිසාද?

භාෂණයේදී මොන පම්පෝරි දෙසුවද ජනපතිවරයා සහ වත්මන් රජය භාවිතයේදී පෙන්වන්නේ රටේ අධ්‍යාපනය-බුද්ධිය-සංස්කෘතික කලාපය වළ පල්ලට ගියද වගේ වගක් නැති බවයි.

මෙලෙස ගිනි බදු ගසා දැනටත් අධ්‍යාපන ක්‍රියාවලියේ කබලට වැටී සිටින දෙමව්පියන් ලිපට දැමීම හැරෙන්නට වෙන කිසිවක් සිදුවන්නේ නැත. මේ ක්‍රියාමාර්ග වෙනුවෙන් වන්දිය මැතිවරණවලදී බලාගත හැකි වනු ඇත.

  • සඳුන් ප්‍රියංකර විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles