ජනපතිවරණය ඔක්තෝම්බර් 17 පැවැත්වෙන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබෙනවා. නිශ්චිතව පැවැත්වෙන්නේ ජනපතිවරණය බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාරද පසුගිය දා පැවසුවා. ඒ අනුව ජනපතිවරණයක් එළැඹෙන බව බොහෝ දුරට නිශ්චිතව ඇති දේශපාලන වටපිටාවක ජනපතිවරයාගේ උතුරු සංචාරය කතාබහට ලක්ව තිබෙනවා.
ජාතික තරුණ සේවා සභාව විසින් යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වූ යාපනය තරුණ සමුළුව ද ආමන්ත්‍රණය කළ ජනපතිවරයා, යාපනය මහ රෝහල ජාතික රෝහලක් බවට ද එහිදී ප්‍රතිඥාවක් දෙනු ලැබුවා.
ජනපතිවරණයෙන් ජය ලබා ගන්නා ඕනෑම අපේක්ෂකයෙකුට උතුරු-නැගෙනහිර ජනතාවගේ ඡන්ද තීරණාත්මක සාධකයක්. ජනපතිවරණ ප්‍රකාශ උණුසුමේ ජනපතිවරයාගේ උතුරු සංචාරය ඔහු ජනපතිවරණ සටන අරඹා ඇති බවට ලකුණක් බව දේශපාලන විචාරකයන් පවසනවා.
ජනපතිවරයා, ඊයේ දිනයේ (25) යාපනය සංචාරය අතරතුරදී උතුරු පළාත් හිටපු මහඇමැති සී.වී.විග්නේෂ්වරන් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා. ඒ යාපනය නල්ලූර්හි පිහිටි විග්නේෂ්වරන් නිවසේදීයි. එහිදී පැවතියේ සුහද හමුවක් බවයි හිටපු මහඇමැතිවරයා පසුව කියා සිටියේ.
කෙසේ වෙතත්, එහිදී එළැඹෙන ජනපතිවරණය සහ මෙරට ආර්ථිකය නගා සිටුවීම සම්බන්ධ කරුණු ද උතුරු පළාතේ සිදුවන සංවර්ධනය සහ ජන ගැටලු විසඳීම ගැන ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.