රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්දය දාන්න ඕනෑ: පෙත්සමක්

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කර තිබෙනවා.

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සිරකරුවකු වන සුදේශ නන්දිමාල් ද සිල්වා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු අධිකරණයක් මඟින් වරදකරු කරන තුරු ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවන බවත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව සෑම සිරකරුවෙකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකිය යුතු බවත් සාමාන්‍ය පුද්ගලයකු භුක්ති විදින සියලු වරප්‍රසාද ඔහුට සලසා දීමට පියවර ගත යුතු බව අවධාරණය කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කරීමට සුදුසුකම් නොලබන සිරකරුවන් කවුරුන්දැයි පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අධිකරණය මඟින් වරදකරු නොකළ රිමාන්ඩ් සැකකරුවන් අයත් නැති බවත් කියා සිටිනවා.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමාද ඉකුත් කාලයේ වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම නිසා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් පෙත්සම්කරු මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතිවිශාල සැකකරුවන් පිරිසකට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වී තිබෙන බවත් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles