අද (06) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන්, එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී මේ දිනවල, මෙරට ක්‍රියාත්මක කෙරෙන යුක්තිය නම් පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පළ කෙරුණා.
ටිරාන් සහ දේශබන්දු යුක්තිය නමින් සිදු කරන අයුක්තිය අරභයා කිසිම මාධ්‍යයක් හෝ වගකිව යුත්තෙක් කට නාරින බවයි ජයගොඩ පවසන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පැත්තක සිටියදී ඊට ගොදුරුවූවන් පමණක් අත්අඩංගුවට ගෙන තාඩන පීඩන කරන මෙම මෙහෙයුම, යුක්තිය නොව අයුක්තිය බවයි ඔහු කියා සිටියේ.
පසුගිය 31 වැනිදා වැලිගම පැළෑඳ හෝටලයක් අසල දී වූ වෙඩි තැබීම මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දැඩි විවේචනයට ලක් වුණා. මෙහිදී ඔහු කියා සිටියේ පොලිසිය අභ්‍යන්තරයේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වන බවයි.
වැලිගම පොලිසිය දැනුම්වත් නොකර කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ගොස් වැලිගම හෝටලයට වෙඩි තැබීම ඇමැති ටිරාන්ගේ පෞද්ගලික කෝන්තරයක් නිසා වූවක් බවයි ඔවුන් පවසන්නේ. එම පොලිස් කණ්ඩායම අංක තහඩු රහිත වෑන් භාවිතා කිරීම, පොලිස් බල ප්‍රදේශ දැනුම්වත් නොකිරීම, හෝටලයට වෙඩි තැබූ පසු එම හෝටලයෙන් පොලිසිය දැනුම්වත් කිරීම, වැලිගම පොලිසිය වෙඩි තැබූ පසු ආසන්න රෝහලකට තුවාළකරුවන් ගෙන නොගොස් කොළඹ යෑමට තැත් දැරීම වැනි කරුණු ගණනාවක් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රශ්න කරනු ලැබුවා.
ඇත්ත ජාවාරමුන් පසෙකලා සාමාන්‍ය පුරවැසියන්ට පීඩා කිරීම පිණිස මේ ඊනියා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පුබුදු ජයගොඩ වැඩදුරටත් කියා සිටියේ. ඊට තමන් සතුව සාක්ෂි ඇති බවත් ඔහු පවසනවා. බොහෝ දෙනෙක් නිරපරාධීව අත්අඩංගුවට ගත් බවත්, සමහරුන් පාන් පිටි පැකට් නිසා අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසූ ඔහු යුක්තිය යුක්තිය කියමින් කරන අයුක්තිය වහා නවතා දමන්නැයි කියා සිටියා.
එසේ ම ඔහු සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේ නිහඬව නොසිට මේ අයුක්තිසහගත ක්‍රියාදාමය නවතා දමන ලෙසයි.