වැලිඔය බෙදූ සහල් පරණයි: ජනතාවගෙන් චෝදනා

අප්‍රේල් 20/21 දිනවල වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා රජයෙන් නොමිලේ සහල් කිලෝ 10 බෙදා දීම ආරම්භ වී තිබුණා.

මෙම සහල් බෙදාදීමේ දී රතු කැකුලු සහල් බෙදා දී ඇති අතර ඒවා කාලය ඉක්ම වූ සහල් බව ජනතාව පවසනවා.

වැලිඔය ගජබාපුර හා ඇහැටුගස්වැව ගම්මාන වලට මෙම සහල් මෙලෙස බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සහල් දුර්වර්ණ වී ඇති අතර ඒවා ආහාරයට ගැනීමද ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බවත් මෙහිදී රජයෙන් සුදු කැකුළු හෝ නාඩු සහල් ලබාදීමට උපදෙස් ලබා දී තිබිය දී වැලිඔය ජනතාවට රතු කැකුළු සහල් බෙදා දීමද ප්‍රශ්නයක් මතු වී ඇති බවයි සඳහන් වන්නේ.

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය මඟින් සියලු දිස්ත්‍රීක් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහල් සපයා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැපයුම්කරුවන්ට මූලික තැන ලබාදිය යුතු වුවද වැලිඔය එවැනි සැපයුම්කරුවන්ට ලබා නොදී පිටස්තර සැපයුම්කරුවන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්නගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එම සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවයි.

ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles