මී උණ රෝගය පැතිරීමේ අවදානමක්

වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis)ලෙස නම් කර තිබෙනවා.

මෙම රෝගයට හේතු වන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ මුත්‍රාවල අඩංගුවන අතර එය මේ වනවිට ගවයන්ගේ සුනඛයින් සහ ඌරන්ගේ මළ සහ මුත්‍රාවලද අන්තර්ගත බවට සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

රෝගකාරක බැක්ටීරියාව සහිත අදාළ සත්වයන්ගේ මුත්‍රා ජලයට එක්වීමෙන් පසු එය මිනිස් සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟින් වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පැවසුවේ මී උණ හේතුවෙන් වසර පුරාම මරණ 100ක් හෝ එවැනි ඉහළ සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාරවලට යොමු නොවූ පිරිස මෙම රෝගී තත්ත්වයෙන් මියයන බව ද පැවසු වෛද්‍යවරිය මී උණට ඖෂධ ඇති බවත් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුව කළ හැකි බවත් ඔහු සඳහන් කරනවා.

කකුල් කැපී හෝ වෙනත් තුවාල ඇති පුද්ගලයින්ට මෙහි අවධානම වැඩි බව ද පැවසු වෛද්‍යවරිය දුෂිත ජලය මඟින් මුහුණ, මුඛය හෝ නාසය සේදීමෙන් ද බැක්ටීරියාව ශරීරගත විය හැකි බවයි කියා සිටියේ.

මී උණ, වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර, මොනරාගල, කුරුගණෑගල වැනි දිස්ත්‍රික්කවලින් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles